ජනපති වෙහෙරබැන්ද කුටිය, තන්තිරිමලේ විහාරස්ථානයන්හි ආගමික වතාවත්වල (වීඩියෝ)

ජූලි 05, 2020
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර වෙහෙරබැන්ද කුටිය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානවල ආගමික වතාවත්හි නිරත වෙයි.

    ශිලා ලේඛන සංග්‍රහයට අනුව ක්‍රි.ව. 5 සහ 6 වැනි ශතවර්ෂවල පළමුවැනි භාතිය රජතුමා විසින් වෙහෙරබැන්ද කුටිය රජමහා විහාරය ඉදිකර තිබේ. ඊයේ (04) පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය වැලිසර සිරි ජිනවංස තිස්ස හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    සිල් සමාදන්ව සිටි උපාසක උපාසිකාවන් සහ ප්‍රදේශවාසීන් සමග ද ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත විය. ජනාධිපතිතුමා අද පස්වරුවේ අනුරාධපුරය ඓතිහාසික තන්තිරිමලය පුදබිමේ ආගමික වතාවත්වල නිරත විය. අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා ඖෂධ පූජාව ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියට ආශිර්වාද කළ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියෝ කොවිඩ් 19 පාලනයට රාජපක්ෂ මැතිතුමා කළ විශිෂ්ට මෙහෙවර ගැන ප්‍රසාදය පළ කළහ.

    පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවට සමාන තන්තිරිමලේ ඓතිහාසික ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන්වහන්සේ ජනතා වන්දනා මානයට විවෘත කළ ජනාධිපතිතුමා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් සහ ප්‍රදේශවාසීන් සමග ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.

    Last modified on සදුදා, 06 ජූලි 2020 11:58

    Latest News