රනිල් පාර්. සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත්, සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනාත් අතර කිසිදු වෙනසක් නැහැ; අගමැති

ජූලි 05, 2020

    2019 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත්, සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනාත් අතර කිසිදු වෙනසක් නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒවායේ, සංක්‍ෂිප්ත අයුරින් සඳහන් වන්නේ, රට බෙදා වෙන් කිරීමට නම් ජාත්‍යන්තරයට පෙනෙන ආකාරයට ඒකීය රාජ්‍යය, නැතිනම් “යුනිටරි ස්ටේට්“ නමැති විශේෂ තාක්‍ෂණික අර්ථයකින් යුත් එම ඉංග්‍රීසි වදන, අපේ ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සනින් යුතුව, අද නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන්.

    සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර, නොබෙදුනු හා වෙන් කළ නොහැකි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම දක්නට ලැබේ. මධ්‍යම ආණ්ඩුව සතු බලතල උපරිම ලෙස පළාත් සභාවලට බෙදාහැරීම, පළාත් සභා නියෝජිතයන්ගෙන් සෑදුනු දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ඇති කොට, පාර්ලිමේන්තුවේ බලය තවදුරටත් සීමා කිරීම එහි දැක්වේ. පාර්ලිමේන්තුවේ මුදල් බලය අහෝසි කොට පළාත් සභාවලට ස්වාධීනව මුදල් රැස් කිරීමට ඉඩ හැරීම, මධ්‍යම ආණ්ඩුව යටතේ සිටින දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පළාත් සභා යටතට පත්කිරීම සජිත් ප්‍රේමදාසගේ තවත් යෝජනාවක්. පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවන ආරවුල් විසඳීමට, වෙනම ව්‍යවස්ථාමය අධිකරණයක් ස්ථාපනය කිරීම ද ඒ අතර වේ.

    මේ ආකාරයට ප්‍රධාන දේශපාලන පක්‍ෂයක්, එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීම අතිශයින් බරපතල කරුණක්. මෙම ලියවිල්ල අතිපූජනීය මහ නාහිමිවරුන්ටත් අනු නාහිමිවරුන්ටත් පිළිගැන්වූයේ එහි අන්තර්ගතය ගැන උන්වහන්සේලාට පූර්ව දැනුම් දීමකින් තොරවයි. එපමණක් නොව, සෑම පවුලකටම රුපියල් විසිදහසක දීමනාවක් ලබාදෙන බව කියයි. ඔවුන් ජනාධිපතිවරණය ජයගැනීමට උත්සාහ කළේ ද විවිධ දේවල් නොමිලයේ ලබාදෙන බව පවසමින්. ජනවර්ගයක් හෝ ආගමක් මුල්කොට දේශපාලනය කරන්නේ නම්, ඉන් හැඳින්වෙන්නේ පිටස්තරයන් සතුරන් ලෙස සැලකීමයි. මේ නිසා අපි එහි භයානක ආනිසංස, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අත්දැක තිබේ.

    දේශපාලන පක්‍ෂයක් එක ජනවර්ගයකට හෝ ආගමකට අයත් ජනතාවගෙන් පමණක් ඡන්ද ලබාගැනීමෙන්, ඔවුන් එක්තරා ආකාරයක දේශපාලන සිරකරුවන් බවට පත්වේ. සහරාන් හෂීම් නමැති අන්තවාදියා, මඩකලපු දිස්ත්‍රික්කයේ අනුගාමිකයන් සුළු පිරිසක් නිර්මාණය කරගත් පසු එහි ඡන්ද කොටස ලබාගැනීමට ප්‍රාදේශීය දේශපාලන පක්‍ෂ අතර තරගයක් ඇතිවිය. අන්තවාදියා, අපේක්‍ෂකයන් ගෙන්වා, ඔවුන්ට කොන්දේසි පනවනු ලැබීය. අන්තවාදීන් ජාතිවාදී දේශපාලන පක්‍ෂ පාලනය කරන අතර, ජාතිවාදී දේශපාලන පක්‍ෂ රටේ බලය හොබවන ජාතික දේශපාලන පක්‍ෂ පාලනය කරනු ලබයි. අවසානයේ දී දිස්වූයේ යහපාලන ආණ්ඩුව වක්‍රාකාරයෙන් පාලනය කළේ අන්තවාදීන් යන්නයි. එම ආණ්ඩුවට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ ද මෙම ජාතිවාදී දේශපාලනයට නතු වූ නිසා බව එම නිවේදනයේ සඳහන්.

    ජී.ජී. පොන්නම්බලම්, ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, ඒ.සී.එස්. හමීඩ්, එම්.එච්. මොහොමඩ්, යදුයිදීන් මොහොමඩ්, අලවි මව්ලානා වැනි නායකයන් දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කලේය. ඔවුන් අදාළ පක්‍ෂවල පතාක යෝධයන් වූහ. එහෙත්, එම නායකයන් ජාතිවාදී දේශපාලනයට යටවූයේ නැත. ගනුදෙනුකාරී, කප්පම්කාරී දේශපාලනය එදා තිබුණේ නැත. අද පවතින ජාතිවාදී විසකුරු දේශපාලනය වර්ධනය වී ඇත්තේ, ඉන් අදාළ පුද්ගලයන්ට විශාල ප්‍රතිලාභ ලැබෙන බැවින්. එම දේශපාලනයයි, ජනතාව 2019 ජනාධිපතිවරණයේ දී පරාජය කළේ. ජාතීන් හා ආගම් අතර ඉතිහාසයේ තිබූ ආකාරයේ සමගියක් අන්‍යෝන්‍ය සහයෝගයක් යළි ඇති කිරීමට නම්, පටු ජාතිවාදී දේශපාලනයෙන් ප්‍රතිලාභ අත් නොවන තත්වයක් නිර්මාණය කළ යුතුය.

    එවිට තරුණ පරපුර අතරින් යළි පොන්නම්බලම්ලා, දොරෙයිඅප්පලා, හමීඩ්ලා, මවුලානලා බිහිවේ. පටු ජාතිවාදයටත්, කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජනවරමක්, මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා දෙන්නැයි සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Latest News