නේවි සම්පත් යළි රිමාන්ඩ්

ජන 02, 2019
    නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි (නේවි සම්පත්) යන සැකකරු ලබන 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝග කළේය.
    සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වලට අනුව අතුරුදහන් වූ පුද්ගලයන් ලබා දුන් තොරතුරු වලට අනුව සිදු කළ විමර්ශන වලදී අන්ඩච්චි යන අයගෙන් කප්පම් ලබා ගැනීමට අදාළ දුරකතන විමර්ශන සිදු කළ බවත් අදාළ දුරකතන වල විස්තර ඩයලොග් ආයතනයෙන් ඉල්ලා ඇති බවත් අධිකරණයට ප්‍රකාශ කළ රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අධිකරණයට කියා සිටියේය.
     
    සිද්ධියට අදාළව විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රහස් පොලිසිය අධිකරණයයෙන් ඉල්ලා සිටියේය.
     
    සාක්ෂිකරුවකු වන වෙලගෙදර යන අයට ජීවිත තර්ජනය ඇති බවට ඔහු විසින් රහස් පොලිසියට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් මේ වන විටත් රියර් අද්මිරාල් සේරසිංහ යන නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන් කරමින් සිටින බවත් නිශාන්ත සිල්වා මහතා අධිකරණයට කියා සිටියේය.
     
    මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් ලබා දීමට නාවික හමුදාවේ නිලධාරියකු සූදානමින් සිටින බවත් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත් රහස් පොලිසිය සිදු කළ ඉල්ලීමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා එම ප්‍රකාශය නිල මැදිරියේ දී සිදු කරන ලෙස නියෝග කළේය.
    කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සිද්ධියට අදාළව 10 වන සැකකරු ලෙස නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් කර තිබේ.

    Latest News