නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා වැලිකඩ පොලිස් වසම තුළ WP KP 4575 දරණ ජීප් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරමින් අපරික්ෂාකාරි ආකාරයෙන් පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.
දෙවන අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙන්නේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, මෙම අනතුර සිදු වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිවය.
චෝදනා 16 කින් යුත් එම අධිචෝදනා පත්‍රය තුළින් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ආදී චෝදනා එම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව එල්ල කර ඇත.