කොවිඩ්-19; අද මෙරටින් ආසාදිතයන් 101ක්

ජූලි 12, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 101 දෙනෙකු අද මෙරටින් වාර්තාවිය. 

    කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට අද හඳුනාගත් රෝගීන්ගෙන් 76 දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන්. තවත් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල ආශ්‍රිතයන්. කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගැනුණු රෝගියෙක් සමීපව ඇසුරු කළ රාජාංගනයේ පදිංචිකරුවන් සිව් දෙනෙකු ද අද හඳුනා ගැනුණු රෝගීන් අතරවේ. ඉතිරි 07 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන සේවාවකට සහභාගි වූ රාජාංගනය ප්‍ර දේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පසුගියදා වාර්තාවිය. ඔහුගේ දරුවන් දෙදෙනාට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයේ පසුවන බව, යුද හමුදාව පවසයි. එම පුද්ගලයා පසුගිය දෙවැනිදා අවමංගල්‍යයක් සඳහා සහභාගි වී තිබේ. ඊට සහභාගි වූ පිරිස් ද නිරෝධායනය කර ඇති අතර ඔවුන්ගේ කොටසකගේ පී සී ආර් පරීක්‍ෂණ අද සිදු කෙරේ. ඒ රාජාංගනය පහේ කණුව පොළ භූමියේදී. ඊට 60 දෙනෙකු ඇතුලත්.

    පසුගිය 4 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් මුණ ගැසීමට ඔවුන්ගේ ඥාතීන් 116 දෙනෙකු එහි පැමිණ තිබේ. එම පිරිස ද නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාව පවසයි. එම රැඳවියන් මුණ ගැසීමට ගිය පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිවාස 18ක පුද්ගලයන් 66 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

    මෙරටට පැමිණිමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි 185 දෙනෙකු අද සවස දිවයිනට පැමිණියේය. ඔවුන් ගුවන් තොටුපොළේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව, නිරෝධායනයට යොමු කෙරිණ.

    වවුනියාව, පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අදින් අවසන් කළේය. එම පිරිසට 32ක් අයත්. ඔවුන් නිරෝධායනය කාලසීමාවෙන් පසු පීසීආර් පරීක්‍ෂණ සිදුකර මුදාහැර තිබේ.

    Latest News