පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ

ජූලි 17, 2020

    පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව පිළිබදව ඊයේ (16) සෞඛ්‍ය අංශ වෙත විමසීම් ඉදිරිපත් වූ බවද, ඊට අදාළ සෞඛ්‍ය නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශයට අද ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (17) උදෑසන මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

    කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ පවතින තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, කන්දකාඩු පොකුර සම්බන්ධයෙන් පමණක් මේ වන විට පී සී ආර් පරීක්ෂණ 5000ක් පමණ සිදුකර ඇති අතර, කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙහි නිලධාරීන් ආසාදිතයින් ලෙස ගමන් ගත් බවට හදුනාගත් ප්‍රදේශ සියල්ලක්ම හදුනාගනිමින් ඊට අදාළව නියැදි ලබාගනිමින් පරීක්ෂා කළ බවයි.

    ඊයේ දිනයේ සිදුකළ සමස්ත පී සී ආර් පරීක්ෂණ ප්‍රමාණය 2406ක් වන අතර, රාජාංගණය ප්‍රදේශයේ ඊයේ සහ අද යන දින දෙකෙහි පී සී ආර් පරීක්ෂණ 150 බැගින් සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

    ඔහු පවසන පරිදි රාජාංගණයේ රාජාංගණයේ පී සී ආර් පරීක්ෂණ දෙවන වටය අද ඇරඹෙන අතර, සාමාන්‍යයෙන් දිනකට පී සී ආර් පරීක්ෂණ 1500ක් 2000ක් අතර සිදුකරයි. එමෙන්ම මේ වන විට රාජාංගණය ප්‍රදේශයේ 12000ක් පමණ නිරෝධායනයට ලක්වන අතර, කන්දකාඩු පොකුර නිසා 2000ක් 3000ක් අතර පිරිසක් නිරෝධායනයට ලක්වන බවද සඳහන් කළේ ය.

    Latest News