කන්දකාඩු රැඳවියන්ගේ ආශ්‍රිතයන්ට කොවිඩ් නැහැ

ජූලි 17, 2020

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් මුණගැසීමට ගිය 116 දෙනා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 368 දෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට පීසීආර් පරීක්‍ෂණවලින් තහවුරු වූ බව,යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු එක් රෝගියෙකු පමණක් අද මෙරටින් වාර්තා විය. එම රෝගියා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව වාර්තා වූ රාජාංගනය ප්‍ර දේශයේ පදිංචි රෝගියාගේ ආශ්‍රිතයෙක් බව වාර්තාවේ.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 2,012 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. ප්‍රතිශතයක් ලෙස එය 74.85 ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 665 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 24.73 ක්.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 541ක්. ඔවුන්ගෙන් 444 දෙනෙකුම කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්. තවත් 63 දෙනෙකු එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලවලට අයත් උපදේශකයින් ඇතුළු පිරිසක්. 05 දෙනෙකු බාහිර උපදේශකයන් බව වාර්තාවේ. ඉතිරි 29 දෙනා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන්ගේ සමීපතමයින්.

    පොළොන්නරුව, බටහිර ඇතුමල්පිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගියෙකු වාර්තාවීමත් ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයින් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ. ඔවුන්ගේ පීසීආර් පරීක්‍ෂණ ඉදිරි දිනවලදී සිදු කිරීමට නියමිත බව වාර්තාවේ. එම ප්‍රදේශය විෂබීජානුහරණයට ලක් කෙරිණ.

    පසුගියදා කොවිඩ්-19 රෝගියෙකු රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තාවීමත් සමඟ එම ප්‍ර දේශයේ සංචරනය සීමා කර තිබේ. රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව එක්ව එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු දේ ලබාදෙන ආකාරය දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයින් පිරිසකගේ පීසීආර් පරීක්‍ෂණ අද වැල්ලවත්තේ දී සිදු කෙරිණ. ඊට 40 දෙනෙකුගෙන් යුත් පිරිසක් අයත්. රුධිර සාම්පල ලබාගැනීම ද සිදු කෙරිණ.

    පිළියන්දල දැල්තර ප්‍රදේශයේ කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමත් සමඟ ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පීසීආර් පරීක්‍ෂණ සිදු කෙරිණ. ඔවුන් සමීපව ඇසුරු කළ 50කගේ පීසීආර් පරීක්‍ෂණ සිදු කෙරුණේ දැල්තර ප්‍රදේශයේ දී. ප්‍රදේශයේ 70කට ආසන්න පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

    එම රෝගීන් ඇසුරු කළ බවට සැක කෙරෙන පිරිසකගෙන් අහඹු ලෙස තෝරාගත් තවත් 50 දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ පැවැත්වුණේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදී.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරුවීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් වන වැලිමඩ, මීරගහවත්ත සහ කැප්පෙටිපොළ ප්‍රදේශවල පුද්ගලයින් 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. අද ඔවුන්ගේ පීසීආර් පරීක්‍ෂණ බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විණ.

    මේ අතර අභිනවයෙන් ඉදිකරන ලද කිලිනොච්චිය යුද හමුදා රෝහල, යුද හමුදාපති, ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් අද විවෘත කෙරිණ. මෙම රෝහල ඉදිකර ඇත්තේ, 11 වන ඉංජිනේරු සේවා බලකායේ යුද හමුදා සාමාජිකයින්. යුද හමුදාපතිවරයා, කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි වත්මන් තත්වය පිළිබඳව සහ ඒවායේ අවශ්‍යතාවයන් නිරීක්‍ෂණය කළේය.

    Latest News