රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ

ජූලි 21, 2020

    තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේය.

    ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක් ගෙවන ලෙස ද, අධිකරණය විසින් පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතාට නියෝග කර තිබේ.

    සම්පත් අබේකෝන් සහ මොහොමඩ් ලෆාර් යන මහත්වරුන්ගෙන් සමන්විත බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් මෙම තීන්දුව අද (21) ප්‍රකාශයට පත් කළහ.

    පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිවිල් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ සමගි ජන බලවේගය පක්ෂය ස්ථාපිත කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඉකුත් ජනවාරි මස ගනු ලැබූ තීන්දුවකට අනුව බවය.

    ඒ අනුව සමගි ජන බලවේගය ස්ථාපිත කිරීමේදී තමා ඇතුළු පිරිස කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බවත් ඒ අනුව තමන් ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන තිබෙන තීරණය නීතිවිරෝධී බවත් පවසමින් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉකුත්දා නඩුවක් ගොනු කළ බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

    එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය තමන් ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවත් එසේ ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය එළැඹුණු තීරණය නීතියට පටහැනි බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිවිල් අභියාචනා - මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව තමන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය විභාග කිරීමට අවසර ලබා දී සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගය නිකුත් කරන ලෙස ද ඒ මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

    Latest News