මහවැසි නොතකා ගාලු ජනතාවගෙන් ජනපතිට හරසර

ජූලි 23, 2020

    පාතාලය සහ මත් උවදුර මර්දනයට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට පුළුල්ව සහය දෙන බව ජනහමුවලට රැස්ව සිටි ජනතාව සඳහන් කළහ.

    මෙවර මහ මැතිවරණයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබාදීමට ගාලු ජනතාව කැපවන බව ද ඔවුහු ජනාධිපතිතුමා සමග පැවසූහ.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (23) ගාල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා ස්ථාන10ක සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගි විය.

    අපේක්ෂක සාලිය මෙන්ඩිස් මහතා බලපිටිය වතුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සහ අපේක්ෂක ගාමිණි අමරවංශ මහතා කරන්දෙණිය ටී.ඩී. සමරවීර ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා මහවැසි මැද රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    වත්මන් අධ්‍යාපන ක්‍රමය කඩිනමින් වෙනස් කර දරුවන් මත පැටවී ඇති අනවශ්‍ය බර ඉවත් කර දෙන ලෙස අපේක්ෂක ශාන් විජේලාල් මහතා අම්බලන්ගොඩ පියසේන ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ.

    අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය සිය නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසු ජනතාව වෙත ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා ඔවුන් සමග පැවසීය.

    හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. සිල්වා මහතා රජ්ගම පොදු ක්‍රීඩාංගණයේ, අපේක්ෂක පූජ්‍ය බද්දේගම සමිත හිමි ගාල්ල නගර සභා ක්‍රීඩා මණ්ඩප භූමියේ සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කරාපිටිය රෝහල අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    දිස්ත්‍රික්කයේ පාසල්, රෝහල් සහ මාර්ග පද්ධතියේ ඇති අඩු පාඩු පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    අපේක්ෂක චන්දිම විරක්කොඩි මහතා හබරාදුවේ සහ අපේක්ෂක ඉරංග දිල්ෂාන් විදානගමගේ මහතා ඉමදුව සතිපොළ අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර දැක්වූහ.

    Latest News