IDH රෝහලෙන් පළා ගිය රැඳවියා, යළිත් IDH රෝහලට

ජූලි 24, 2020

    අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් අද අලුයම පළා ගිය කොවිඩ්-19 රෝගය වැළඳුණු රැඳවියා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සමත්වී තිබේ. 

    මේ පුද්ගලයා කන්දකාඩු ප්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොවිඩ්-19 රෝගියෙකු බව වාර්තාවේ. ජුලි 15 වැනිදා ඔහුව අංගොඩ ජාතික බෝවන විද්‍යායතනය වෙත යොමුකර තිබේ. ආසාදිතයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 2.00ට පමණ පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

    ඒ බව වාර්තා වූ වහාම ඔහු සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටී. ආවේක්‍ෂණ රාජකාරිවල යෙදී සිටි යුද හමුදා සෙබළුන් පිරිසක් මෙම රැඳවියා ජාතික රෝහල් පරිශ්‍රයේ සිටියදී හඳුනාගෙන සිය භාරයට ගෙන ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි. මොහු අංගොඩ ජාතික බෝවන විද්‍යායතනයේ සිට පිටකොටුවට පැමිණ එතැන් සිට ත්‍රීරෝද රථයක නැගී කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති බව වාර්තාවේ. ජාතික බෝවන විද්‍යායතනයේ සිට පිටකොටුවට පැමිණ ඇත්තේ කෙසේ ද යන්න විමර්ශන ක්‍රියාත්මකයි.

    මොහු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිට අපරාධ සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව වාර්තාවේ. මොහු 41 හැවිරිදි ත්‍රීකුණාමලය, මාබල්බීච්, චීන වරාය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නසීම් නමැති අයෙක්. එම පුද්ගලයා යළිත් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත භාරදීමට අවශ්‍ය පියවර ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

    Latest News