සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මයේ චිරස්ථිතිය උදෙසා ප්‍රථම ධර්ම සංගායනාව රජගහනුවර දී පැවැත්වුණේ, නිකිනි පුරපසළොස්වක පොහොය දිනකයි. එය සිදු කෙරුණේ, එදින රහත්භාවය ලැබූ ආනන්ද මහ තෙරුන් ඇතුළු රහතන් වහන්සේ 500 නමකගේ වැඩමවීමෙන්. ආනන්ද හිමියන් ශ්‍රී සද්ධර්මය ද උපාලි හිමියන් විනය ද ඉදිරිපත් කළ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
පෙරවස් සමාදන් නොවූ භික්‍ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීමේ විනය කර්මය ද සිදු කෙරෙන්නේ නිකිණි පොහොය දිනයේදී. මෙය දරමිටි පොහොය ලෙස ද හඳුන්වනු ලබයි. ඒ සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතිකාංගයක් ලෙසයි. අතීතයේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින උඩමළුව සතුරන්ගෙන් ආරක්‍ෂා කරගැනීමට හා වනසතුන්ගෙන් රැක ගැනීමට උඩමළුව වටකොට පහත ගිනිමැල දක්වා නිදිවර්ජිතව ක්‍රියාකර තිබේ. අද දින ද දරමිටි පෙරහැර පැවැත්වේ.