පාස්කු ප්‍රහාරය ගැන රාජ්‍ය  බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂගෙන් තවත් හෙළිදරව්වක්

අගෝ 14, 2020

    සහරාන් හෂිම් ඇතුලු පිරිස මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ක්‍රියාත්මක කරන බවට විදෙස් බුද්ධි සේවයක් ඔස්සේ තමාට තොරතුරු ලැබුණු බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ඒ පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද පළමු වරට හෙළි කළා.

    ඒ වනවිටත් සහරාන් හට එවැනි ප්‍රහාරයක් සිදු කිරීමේ හැකියාවක් තිබූ බවට තමන් දැන සිටි බවයි නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ සඳහන් කළේ.

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් අද සාක්‍ෂි විමසීම සිදු කෙරුණේ, 11 වැනි දිනටයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරු කෙරෙහි ඇතුළත් වූ නම් දරන පුද්ගලයින් පිළිබඳ ඒ වනවිටත් රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු පැවතියේ ද යන්නයි.

    සාක්‍ෂි දෙමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ, සහරාන් හෂීම් හා රිල්වාන් පිලිබඳ තොරතුරු එහි තිබූ බවයි. මෙවන් පසුබිමක ඔබේ නිලධාරින් මෙහෙය වූයේ කෙසේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය. මෙම තොරතුරු ලැබෙන කොටත් අපි දැනගෙන හිටියා මාවනැල්ල ප්‍රහාරයෙන් පසුව විදේශයක සිට සහරාන්ගේ තාක්‍ෂණික උපකරණ භාවිතය ගැන. ඒ පිළිබඳ නිසි අවධානයෙන් ක්‍රියා කළත් අදාළ අංශවලින් වාර්තා හමුබවුනේ නැහැ.

    2019 මාර්තු 19 වැනිදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී බුද්ධි අංශ සතු සහරාන් පිලිබඳ තොරතුරු ලබාදුන්නා. සහරාන් ලංකාවෙන් පිටතට ගිය බව ද දැනුම් දුන්නා. රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ඔබ එය විශ්වාස කළේදැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා.

    එය පිළිගැනීමට තමන්ට තොරතුරු නොතිබූ බව ප්‍රකාශ කළ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා, යුද හමුදා බුද්ධි වාර්තාවේ සහරාන් ලංකාවේ සිටියාද යන්න පිළිබඳ පැහැදිලි තත්වයක් තිබුණේ නැහැ. 2019 මාර්තු මාසයේ 24 හෝ 25 වැනි දින සියලු නිලධාරින් ගෙන්නලා සහරාන්ලංකාවේ සිටිනවාද නැද්ද පිළිබඳ ප්‍රශ්න කලේය. මාර්තු 26 හෝ 27 වැනිදා නිලධාරින් ගෙන්නලා දැනුම් දුන්නා බුද්ධි අංශ සතුව විවිධ තොරතුරු තිබෙන නිසා මේ ගැන සොයන්න සහය දෙන්න කියලා.

    2019 අප්‍රේල් 04 වැනි දින විදෙස් බුද්ධි සේවාවකින් ප්‍රහාරය ගැන තොරතුරු ඇඟවීම ලැබුණු පසු එය සත්‍යය ද යන්න තීරණය කළාදැයි කොමිසමේ සභාපතිවරයා යළි විමසා සිටියේය. එහිදී නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ එම තොරතුරු මත ප්‍රහාරයක් ඇතිවීමේ හැකියාව ගැන තක්සේරු කළ බවයි. තොරතුරු අනුව සහරාන්ට ප්‍රහාරයක් සිදු කිරීමට හැකි දැයි ඔබ දැන සිටි‍යා දැයි සභාපතිවරයා නැවතත් ප්‍රශ්න කළා. හිටපු බුද්ධි අංශ ප්‍රධානියා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ඔවුන්ට එවැන්නක් කිරීමේ මානසික හැකියාවක් තිබුණු බවයි. වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගත්තාට පසු තවත් අවි ඇති ස්ථාන පිලිබඳ සොයා බැලුවාදැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කළා.

    ඒ පිළිබඳ විමර්ශනයක් නොකළ බවයි හිටපු බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කළේ. 2019 අප්‍රේල් 04 තොරතුරු ලැබුණු පසු ඒ ගැන වැඩිදුර විමර්ශන සිදු කළාදැයි කොමිසමේ සභාපතිවරයා තවදුරටත් ප්‍රශ්න කළේය. එහිදී නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ, ඒ පිළිබඳව නිලධාරින්ට වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දුන්නා. අප්‍රේල් 05 වැනිදා ලිඛිතව වාර්තාවක් ලැබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලදාරින් ඒ ප්‍රදේශවලට යැව්වා. ඔවුන්ගේ මූලික පරීක්‍ෂණ වාර්තාවක් 05 වැනිදා දහවල් 12ට ලැබුණා. ඒ අනුව මා පොලිස්පතිවරයාට දැනුම් දුන්නා ප්‍රහාරයක් ගැන තොරතුරු ලැබුණා මේ ගැන ජාතික බුද්ධි ප්‍රධානියාව සහ ආරක්‍ෂක ලේකම්වරයාව දැනුවත් කරන්න කියලා.

    මම ඔවුන් දෙදෙනාම අප්‍රේල් 07 වැනිදා දැනුවත් කළා. අපේ නිලධාරීන් බිම් මට්ටමේ සිට තොරතුරු සායා බැලුවා යන්නයි. ලබන 17 වැනිදා යළිත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතාට කොමිසම නියෝග කළේය.

    Latest News