වසර 2කට අඩු කාලයකින් කොරෝනා ලෝකයෙන් තුරන් කරනවා; WHO

අගෝ 22, 2020

    වසර දෙකකට අඩු කාලයකින් කොරෝනා වංසගතය ලෝකයෙන් තුරන් කිරීමට අපේක්‍ෂා කරන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන එහි අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝස් අද්නම් පවසන්නේ, කොරෝනා වෛරසයට එරෙහි නිශ්චිත එන්නතක් සොයා ගන්නා තුරු ලොව කිසිදු රටකට මෙයින් ඉවතට යාමට අවස්ථාවක් නොමැති බවයි.

    එන්නතක් සොයා ගත්ත ද වෛරසයට එරෙහිව අප සතු සියළුම මෙවලම් භාවිත කරමින් වෛරසය පාලනය හා කළමනාකරණය කිරීමට ලොව සැවොම ඉගෙන ගත යුතු බව ද අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝස් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    අද වනවිට ලොවපුරා වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 30 ලක්‍ෂය ඉක්මවා ගොසින්. සමස්ත මරණ සංඛ්‍යාව ලක්‍ෂ 8කට අධිකයි.

    ඉන්දියාවේ දෛනිකව හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතී. ඉකුත් පැය 24 තුළ එරටින් 69,000කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මරණ 953ක් අලුතින් වාර්තා විය. ඒ අනුව එරට සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 29 ලක්‍ෂය ඉක්මවා ගිය අතර, මරණ සංඛ්‍යාව ද 55,000කට අධිකයි.

    කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල යුරෝපා කලාපීය රටවල් තුළ නැවතත් ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවේ. එම රටවල්වල දෛනික ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යන බවපෙනී යයි.

    ගෙවීගිය දිනය තුළ ප්‍රංශයෙන් නව ආසාදිතයින් 4,771ක් ද ස්පාඤ්ඤයෙන් 3,349ක් ද හඳුනා ගත්තේය. මේ අතර, ජර්මනියේ බර්ලින්හි පාසල් 41ක් ආශ්‍රිතව ගුරුවරුන් සහ සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

    මේ අතර, අමෙරිකාවේ සහ බ්‍රසීලයේ ගත වූ පැය 24 තුළ පිළිවෙළින් අලුතින් ආසාදිතයින් 50,000ක් සහ 31,000ක් හඳුනාගෙන තිබේ. දෙරටින්ම මරණ වාර්තා වූයේ දහස බැගින්.

    Latest News