රාජිත සේනාරත්න සහ හේෂා විතානට සිතාසි

අගෝ 24, 2020

    රාජිත සේනාරත්න සහ හේෂා විතාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන 03 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණා.

    රාජිත සේනාරත්න සහ හේෂා විතාන යන මහත්වරුන්ට නොතීසි නිකුත් කෙරුණේ හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි.

    අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රේගුව සතු රත්‍රං කිලෝග්‍රෑම් 08 ක ප්‍රමාණයක් නාවික හමුදාවට ලබාදීම විධිමත් ආකාරයට සිදුකර නොමැති බවට අසත්‍ය චෝදනා ගොණුකරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමා අත්අඩංගුවට ගත්තේ දේශපාලන බලපෑම් මත බව ජගත් පී විජේවීර මහතා කොමිසමට පැමිණිලි කර තිබුණා.

    ඔහු සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කුමන හෝ නඩුවකට සම්බන්ධ කර බන්ධනාගාර ගත කිරීමේ උත්සාහයක්ද තිබූ බවයි.

    ඒ බව සනාථ කිරීමට රාජිත සේනාරත්න සහ හේෂා විතාන යන මහත්වරුන් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් සිදුකළ වෛරී ප්‍රකාශ ඇතුලත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා කිහිපයක්ද සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා.

    එම කරුණු සළකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව රාජිත සේනාරත්න සහ හේෂා විතාන යන මහත්වරුන් වග උත්තරකරුවන් ලෙස නම් කරන බවයි.

    Latest News