දූෂණ විරෝධි ලේකම් කාර්යාලය කළ ඇතැම් ක්‍රියා නීති විරෝධීයි; හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ

සැප් 04, 2020

    යහපාලන ආණ්ඩු සමයේ දී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවූ දූෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදු කළ ඇතැම් ක්‍රියා නීති විරෝධීව සිදුව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පිළිගත්තේය.

     

    ඒ, දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින්.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ අද පෙනී සිටියේය.

    කොමිසම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ, ජාතික විධායක සභාව කුමන නීතියක් යටතේ ස්ථාපනය කළ ආයතනයක් ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ, එය නීතියක් යටතේ ස්ථාපනය නොකළ ආයතනයක් බවයි.

    2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර උපකාර කළ විවිධ දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් සාදා තිබූ බවත්, එය ජාතික විධායක සභාව ලෙස හැඳින්වූ බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ එම සභාවේ සාමාජිකයන් ලෙස තමා ඇතුළු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලි චම්පික මෙන්ම දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුලු පිරිසක් කටයුතු කළ බවයි.

    කොමිසමට ඉදිරිපත්ව ඇති සාක්‍ෂි අනුව ජාතික විධායක සභාව කැබිනට් මණ්ඩලයට ඉහළින් කටයුතු කළ ආයතනයක් බව පෙනී යන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේය. එවිට වික්‍රමසිංහ මහතා සඳහන් කළේ විධායක සභාවට කැබිනට් මණ්ඩලයට ඉහළින් විශේෂ බලයක් ලබා නොදුන් බවයි.

    යහපාලන රජය ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටුවනු ලැබූ දූෂණ විරෝධි කමිටුවට ලැබෙන තොරතුරු මත වැටලීම් කිරීම, අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමට කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලබාදීමෙන් සැකකරුවන් සමාජයේ වැරදිකරුවන් ලෙස හංවඩු ගැසෙනවා නේදැයි කොමිසම වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේය.

    “දැන් බලන්න මට වෙච්ච දේ. මට බැඳුම්කර මහ හොරා කියලානේ කියන්නේ. බැඳුම්කර කොමිසමෙනුත්, පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා මගේ සම්බන්ධයක් නැහැ කියලා. නමුත් මාධ්‍ය මහත්වරුන් එහෙම හිතන්නේ නැහැ. චෝදනාවක් එල් වුණාම එහෙම වෙන එක සාමාන්‍යයි. යනුවෙන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.

    මෙහිදී කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, ඇතැම් අවස්ථාවලදී කමිටුව විසින් යම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබට පීඩනයක් එල්ල වූයේ ද යන්නයි. අන්තිමට මම හොරු ඇල්ලුවෙත් නැහැ කියපු අයයි, ගියපු අයයි ඔක්කොම මාව දාල ගිහින්. මම දැන් තනිවෙලා ඉන්නෙ. ඊට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    දූෂණ විරෝධි ලේකම් කාර්යාලයට ලැබෙන ඇතැම් පැමිණිළි විමර්ශනයට, පොලිස්පතිවරයා වෙත යොමුකර ඇතැම් විශේෂිත පැමිණිලි සෘජුවම එම කොට්ඨාසයට බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කරනවාදැයි යන්න කොමිසම විමසුවේය.

    දූෂණ විරෝධි ලේකම් කාර්යාලයේ සියලු දේ, ක්‍රියාත්මක නොකළ බවත් ඇතැම් කාරණා නීති විරෝධි බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී කොමිසම නැවත විමසුවේ,

    ඒ අනුව නීති විරෝධි කටයුතුවලට කැබිනට් අනුමැතිය ලැබී තිබේද යන්නයි. සුදුසු දේවල් විතරක් කරන්න තමයි උපදෙස් දුන්නේ. අපි දැනගන්න ඕනේ මොනවද සුදුසු නැත්තෙ කියන එක. සුදුසු ඒවට උපදෙස් අරගෙන ක්‍රියාකරන්න පොලිසියට කියල තිබුනේ. නීතිපතිවරයාගේ උපදෙස් අරගෙන කටයුතු කරන්න කියලා උපදෙස් දීලා තිබුණා. යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.

    කොමිසම විමසා සිටියේ, දූෂණ විරෝධි කමිටුවේ රැස්වීම් කුමන ස්ථානයක පැවැත්වුයේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නිශ්චිත කාර්යාලයක් ලබාදෙනතුරු අරලියගහ මන්දිරයේ කාර්යාලයක් ලබාදුන් බවත්, එහිදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් එම හමුවට සහභාගි වූ බවයි.

    එමෙන්ම දූෂණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ජනාධිපති කාර්යාලයේ සිට වැඩ කළ බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා සාක්‍ෂි ලබාදෙමින් සඳහන් කලේය.

    මේ අතර මෙරට යුද අපරාධ සිදුවූ බවට අමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ 30/1 යෝජනාවලිය සඳහා එවක විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා අත්සන් කළ බව ඔබ දැන සිටියේ ද යන්න කොමිසමේ සභාපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේය.

    මංගල සමරවීර ඇතුළු අමාත්‍ය මණ්ඩලයම ඒ පිලිබඳව දැන සිටි බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. කොමිසමේ සභාපතිවරයා යළි විමසුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඒ සම්බන්ධයෙන් දැනුවත් වුයේ ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එය හිටපු ජනාධිපතිවරයා ද දැන සිටි බවයි. එවක රජයේ සියලු දෙනාම එය අනුමත කළ බව ද පැවසුවේය. රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10.00ට පමණ කොමිසමට පැමිනි අතර පැය 5කට ආසන්න කාලයක් සාක්‍ෂි ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.

    Latest News