තෙල් නැව් අනතුරු නිසා ලොව සමුද්‍රීය පරිසර පද්ධතියට හානිවේ

සැප් 04, 2020

    තෙල් නැව් අනතුරු හා තෙල් ළිං ආශ්‍රිත ව්‍යසන හේතුවෙන් ලොව සමුද්‍රීය පරිසර පද්ධතියට ඇතිවන්නේ, විශාල හානියක්.

    කෙසේ වෙතත් 1970 දශකයේ සිට මේ දක්වා කාලය සැලකූ කළ තෙල් නැව් අනතුරු හා මුහුදට තෙල් ගලායාමේ සිද්ධින් 95%කින් අඩුවී ඇති බව පාරිසරික දූෂණය පිළිබඳ අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ ෆෙඩරේෂනය ප්‍රකාශ කරයි.

    ගත වූ වසර 50ක කාලය සැලකූ කළ, ලොව රටවල් සියයකට අධික සංඛ්‍යාවක් තෙල් අනතුරුවලට මුහුණ පා තිබේ. ඒ නිසා පරිසරයට එක්වූ ඛනිජ තෙල් ප්‍රමාණය ටොන් මිලියන 5.8ක්. තෙල් නැව් ආශ්‍රිත අනතුරුවලින් 80%ක්ම සිදුවන්නේ වෙරළට නාවික සැතපුම් දහයකට අඩු කලාපයේ වීම පාරිසරික විනාශයන් බහුලවීමට හේතුවක්.

    ලොව මෙතෙක් වාර්තා වූ දරුණුතම තෙල් නැව් අනතුර හටගත්තේ 1979 වසරේ අත්ලාන්තික් සාගරයේ ටොබේගෝ දූපත ආසන්නයේ. “ඇට්ලෑන්ටික් එම්ප්‍රස්“ නමැති තෙල් නැව අනතුරට ලක්වීමෙන් බොරතෙල් ටොන් දෙලක්‍ෂ 87,000ක් මුහුදට එක්විය. ඒ නිසා ලක්‍ෂ සංඛ්‍යාත මුහුදු ජීවින් විනාශ වූ බව වාර්තාවේ. දෙවන විශාලතම අනතුර 1991 වසරේ දකුණු දිග අප්‍රිකාවේ ඇංගෝලාවට ඔබ්බෙන් මුහුදේ හටගත්තේය.

    “ඒබීටී සමර්“ නමැති තෙල් නැව අනතුරට ලක්වීමෙන් මුහුදට ගලාගිය බොරතෙල් ප්‍රමාණය ටොන් දෙලක්‍ෂ හැට දහසක්. ඉතිහාසයේ තුන්වන විශාලතම අනතුර වාර්තා වන්නේ 1983 වසරේ දකුණු අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදේදී.

    “කැස්ටිලෝ ඩී බෙල්වර්“ නමැති තෙල් නැව අනතුරට ලක්වීමෙන් ටොන් දෙලක්‍ෂ 52,000ක බොරතෙල් සමුද්‍ර පරිසරයට එක්විය. තාක්‍ෂණය දියුණු වීමත් සමඟ තෙල් නැව් ආශ්‍රිත අනතුරු සැලකිය යුතු ලෙස අඩුවී තිබේ. 1970 වසරකට වාර්තා වූ තෙල් ගලායාම් සංඛ්‍යාව 79ක්. එය 2019 වනවිට සිද්ධීන් 6 දක්වා අඩු වී තිබිණ.

    මේ වසරේ මෙතෙක් වාර්තා වූ දරුණුතම තෙල් නැව් අනතුර හටගත්තේ ජූලි මස 25 වැනිදා ඉන්දීය සාගරයේ මුරිසි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී. ජපානයට අයත් “එම්වී වකාශිහෝ“ සුපිරි තෙල් නැව කොරල්පරයක ගැටී දෙකට විය. ඉන් බොරතෙල් ටොන් දහසකට අධික ප්‍රමාණයක් මුහුදට එක්වුවත් ඉතිරි තෙල් ටොන් 3000ක් පමණ ආරක්‍ෂිතව ඉවත්කර ගැනීමට හැකිවුයේ එම නෞකාව ගිනි ගැනීමකට ලක් නොවූ නිසයි.

    Latest News