ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න අවසර

සැප් 07, 2020

    මරණීය දණ්ඩනය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය.

    ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබීය.

    තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවයි.

    ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු සියලු හිමිකම් එම ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.

    ඒ අනූව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කළේය.

    පෙත්සම යළි මේ මස 29 වැනි දා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.

    මෙම පෙත්සම ඉකුත් සිකුරාදා (04) සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තම සේවාදායකයාට රත්නපුර මහාධිකරණය මගින් ඉකුත් ජූලි මස 31 වැනිදා මරණීය දණ්ඩනය නියම කළ බවත් එම දඬුවමට එරෙහිව ඔහු විසින් අගෝස්තු මස 4 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කළ බවත් සඳහන් කර තිබුණ.

    ඉන් අනතුරුව අගෝස්තු මස 5වැනි දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත් වී ඇති බව මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

    ඉන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීම්වලට තමන්ව සහභාගි කරවන ලෙස තම සේවාදායකයා කිහිප අවස්ථාවකම බන්ධනාගාර බලධාරීන් ගෙන් ඉල්ලීම් කළත් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ.

    මරණීය දණ්ඩනය ලබා සිටින තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට, අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුස්සෙක් බවට නීතිපතිවරයා විසින් මතයක් පළ කර තිබීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    තම සේවාදායකයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා සුදුසුකම් තිබේද? නැද්ද? යන්න තීන්දු කිරීමට බන්ධනාගාර බළධාරීන්ට කිසිදු බලයක් නොමැති බවත් ඒ සඳහා බලය පැවරී තිබෙන්නේ අධිකරණයට පමණක් බවද ජනාධිපති නීතිඥවරයා එදින පෙන්වා දී තිබුණි.

    එමෙන්ම තම සේවාදායකයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරම් දීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් තිබෙනවාද? යන්න තීරණය කිරීමේ බලය කතානායකවරයා වෙත පැවරී තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ( ඈ ) වගන්තිය මගින් මරණීය දණ්ඩනය නියම වී සිටීම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුසු කමක් ලෙස දක්වා නොමැති බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මරණීය දණ්ඩනය හිමි වූ විත්තිකරුවෙක් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ විගස එම දඬුවම ක්‍රියාත්මක වීම නවතින බව ද සඳහන් කර තිබුණි.

    එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක යම් විත්තිකරු සම්බන්ධයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන "නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" නමැති නීතිමය තත්වය‍ ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි තත්ත්වයේ පසු වන පුද්ගලයෙක්ට පාර්ලිමේන්තුවේ රැස්වීම් සඳහා සහභාගීවීමට නීතිමය වශයෙන් බාධාවක් නොමැති බවයි තර්ක කර සිටියේ.

    එදින අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටී ‍ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ( ඈ )වගන්තිය මගින් මරණීය දණ්ඩනය ලැබූ පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ එහි ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව පැහැදිලිවම සඳහන් කර ඇතැයි පෙන්වා දුන්නේය.

    යම් පුද්ගලයෙකු තමන්ට නියම වී තිබෙන මරණීය දණ්ඩනයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළහොත් සිදුවන්නේ එම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීම නැවතීම පමණක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ තුළින් ඔහු වරදකරු කරමින් අධිකරණය විසින් දුන් තීන්දුව අත්හිටුවීමක් සිදු නොවන බව ද සඳහන් කර තිබුණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89( ඈ) වගන්තිය ප්‍රකාරව මරණීය දණ්ඩනය හිමිව තිබීම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට බාධාවක් නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කරන තර්කය පිළිබඳව විභාගයක් පවත්වන්නේ නම් ඒ සඳහා අදාළ වගන්තිය අර්ථකථනය කිරීමට සිදුවන බවත් එවැනි නීතිමය අර්ථකථනයක් සිදු කිරීමට බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් යැයි ද නියෝජ්‍ය සොලිස්ටර්වරයා පෙන්වා දුන්නේය.

    ඒ අනූව, මෙම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙසයි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඉල්ලා තිබුණේ.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවක් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප පනතේ 20 වැනි වගන්තියට අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කළ පුද්ගලයෙකු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ විගස ඔහු රිමාන්ඩ් සිරකරුවක් බවට පත්වන බව පෙන්වා දී තිබුණි.

    රිමාන්ඩ් සිරකරුවෙක්ට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ඉගලහේවා මහතා ඒ අනූව ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ද සිය දඬුවමට එරෙහිව දැන් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන හෙයින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණීමට බාධාවක් නොමැති බවද සඳහන් කර සිටියේය.

    ඉකුත් සිකුරාදා (04) මෙම පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය අද සිය තීන්දුව මෙසේ ප්‍රකාශයට පත් කළේය.

    Latest News