නෞකාවේ ගින්න නිවීමට වැය වූ මුදල් අයකර ගැනීමට සාකච්ජා (වීඩියෝ)

සැප් 14, 2020
  • ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජාවක් නීතිපති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවැත්විණ. 

    ඒ, නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. සාකච්ජාවට සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක බලකාය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ වෙළෙඳ නැව් දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයින් එක්ව සිටියහ.  නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල් සහ රක්‍ෂණ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කර තිබේ. නිව් ඩයමන්ඩ් නෞකාව, මේ වනවිට මඩකලපුවට නැගෙනහිරි නාවික සැතපුම් 52ක් දුරින් ගැඹුරු මුහුදේ නැංගුරම්ලා තිබේ.

     

    එහි ඇති තෙල්වල සාම්පල ලබාගැනීම සඳහා කණ්ඩායමක් ඊයේ පිටත්ව ගියේය.  ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝගයකට අනුවයි.  එම කණ්ඩායම, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වෙරළ ආරක්‍ෂක බලකාය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතයි.

     

    අද අලුයම තෙල් සාම්පල ලබාගැනීමට නියමිතව තිබූ අතර, එම පිරිස අද නැවත ගොඩබිමට ළඟාවීමට නියමිතයි.  කුවේටයේ සිට ඉන්දියාවේ පැරඩිප් වරාය දක්වා බොර තෙල් මෙට්‍රික් ටොන් දෙලක්‍ෂ 70,000ක් රැගෙන යාත්‍රා කළ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හටගත්තේ පසුගිය තුන් වැනිදායි. එය දැඩි මෙහෙයුමකින් පසු පසුගිය 9 වැනිදා මුළුමනින්ම නිවා දැමිණ.

     

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත් නෞකාවේ තුන්වන ඉංජිනේරුවා ඉකුත් 03 වැනිදා ගොඩබිමට රැගෙන එනු ලැබීය.  ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ, කල්මුණේ මුලික රෝහලටයි.  පසුව ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරිණ.  පිලිපීන ජාතික ඉංජිනේරුවා කියා සිටියේ තමාගේ දිවි ගළවා ගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට සිය හෘදයාංගම ස්තූතිය පුද කරන බවයි.  එමෙන්ම, සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ද ස්තූති කරන බව ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 20:26

    Latest News