කඳුළු ගෑස් වැදී ඇසක් අන්ධ වූ ආබාධිත සෙබළකුගෙන් පෙත්සමක්

සැප් 15, 2020

    පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බව පවසමින් ආබාධිත සෙබලෙකු පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    ඒ වෙනුවෙන් රජයෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

    ඉකුත් යහපාලන රජය සමයේ සිය විශ්‍රාම වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ආබාධිත යුධ හමුදා සෙබළුන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බව, මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබලකු වන කම්කානම්ගේ නිශාන්ත මිහිරාජ් යන අය අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එය ලබන වසරේ මැයි මස 4 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    පෙත්සම ඉදිරිපත් කළ ආබාධිත සෙබළා කියා සිටින්නේ සිය විශ්‍රාම වැටුප් ගැටළුවලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා 2017 වසරේ නොවැම්බර් මස 7 වන දා කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය අවට ආබාධිත සෙබළුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කළ බවයි.

    එම උද්ඝෝෂනය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් අත්තනෝමතිකව එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් සිය ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බවයි පෙත්සම්කරු චෝදනා කර සිටින්නේ.

    මේ තුළින් තමා දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පවසන පෙත්සම්කරු එම ක්‍රියාව හරහා පොලිසිය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර තිබෙන බවටයි චෝදනා කර සිටින්නේ.

    පොලිසිය විසින් සිදු කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් තමන්ට රුපියල් මිලියන 10ක වන්දියක් රජයෙන් අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    මෙම පෙත්සම ගොනුකළ මුල් අවස්ථාවේ එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, කැරලි මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරීවරයා, එවක නීතිය හා සාමය පිළබඳ ඇමති සාගල රත්නායක, එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, එවක පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු නම් කර තිබුණි.

    එහෙත් වර්තමානයේ ගොනුකර තිබෙන සංශෝධිත පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන්ඩ වැඩ බලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ යන අය ද නම් කර තිබේ.

    Latest News