යහපාලන රජයේ රණවිරු දඩයමට නිලධාරීන් සාක්‍ෂි විකෘති කරලා

සැප් 15, 2020

    යහපාලන රජයේ රණවිරු දඩයම ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඇතුලු නිලධාරීන් සාක්‍ෂි විකෘති කොට නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු දක්වා ඇති බව, අද අනාවරණය විය. 

    ඒ, නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කළ පැමිණිල්ලක් අද විභාගයට ගැනුණු අවස්ථාවේදී.

     

    2008 වසරේ කොළඹ දී තරුණයින් 11ක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදුකර ඇති බව කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසමට පැමිණිළි කර තිබේ.  කොමිසම හමුවේ කරුණු දක්වමින් ඔහු කියා සිටියේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යහපාලන රජයේ දේශපාලන වුවමනා මත සාක්‍ෂි විකෘති කොට තමා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බවයි.  එය, යුද්ධය නිමා කළ දේශපාලන නායකත්වය යුද අපරාධ සිදු කළ බවට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හුවා දැක්වීම සඳහා කළ කුමන්ත්‍රණයක් බවට ඔහු අවධාරණය කළේය.

     

    නාවික හමුදාවේ එවක ලුතිනන් කමාන්ඩර් ගලගෙදර යන අය ඔස්ට්‍රේලියාවට නීති විරෝධි ලෙස බෝට්ටු මගින් ශ්‍රමිකයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව කළ විමර්ශනයෙන් පසු වෙලගෙදර නමැති නිලධාරියා තමා සමඟ කටයුතු කළේ දැඩි වෛරයකින් බව ද කමාන්ඩර් රණසිංහ ප්‍රකාශ කළේය.

     

    ඔහු පෙන්වා දුන්නේ ඒ අනුව යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යා පීඨයේ අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කමාන්ඩර් වෙලෙගෙදර වැඩ බාරගත් බව ද කමාන්ඩර් රණසිංහ කියා සිටියේය.

     

    අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයාගේ අවසරය මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාක්‍ෂිකරුවන් 14 දෙනෙකු සමඟ නාවික හා සාගර විද්‍යා පීඨයේ “ගන් සයිට්“ නමැති ස්ථානයේ නිරීක්‍ෂණයකට ගොස් තිබේ.  සුමිත් රණසිංහ මහතා සඳහන් කළේ, එහිදී වෙලගෙදර යන අය එම ස්ථානයෙන් කලු පොලිතින් උරවල බහා මෘත ශරීර වැනි යමක් කැබ් රථයකට පටවන බව, තමා දුටු බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.

     

    2013 ජුලි 29 වැනි දින වෙලගෙදර නමැති නිලධාරියා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදී ඇති ප්‍රකාශ හා සැසදීමේදී එම ප්‍රකාශය පරස්පර විරෝධි බවත් කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    ඔහු කියා සිටියේ “ගන් සයිට්“ නම් ස්ථානයේ යුද අපරාධ සිදුවූ බවට, චෝදනා කිරිමට මෙම වෙලගෙදර නමැති නිලධාරියාගේ ප්‍රකාශය හේතු වී ඇති බවයි. කෙසේ වෙතත් 2019 නොවැම්බර් 14 වැනි දින තමාට ජිවිත තර්ජනයක් ඇතැයි පවසමින් වෙලගෙදර නමැති නිලධාරියා  දේශපාලන රැකවරණය පතා ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව ද නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News