අරුවක්කාළු සනීපාරක්‍ෂක කසළ රඳවනෙහි ඉදිකිරීම් කඩිනම් කෙරේ (වීඩියෝ)

සැප් 15, 2020
  • දිනකට කසළ ටොන් 1,200ක් තැන්පත් කළ හැකි අරුවක්කාළු සනීපාරක්‍ෂක කසළ රඳවනෙහි ඉදිකිරීම් කඩිනම් කර තිබේ.

    ඒ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව. මෙම කසළ රඳවනයෙහි අතුරු ඵලවලින් බලශක්තිය නිපදවීම හා වගා සඳහා ජලය සැපයීමට නියමිතයි.

    අරුවක්කාළු ප්‍රදේශයේ අක්කර 265ක භූමියක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. වැය කෙරෙන මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 120ක්. ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ, චයිනා හාබර් පුද්ගලික සමාගම විසින්. ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ දකුණු කොරියානු සමාගමක් එය අධීක්‍ෂණය කරයි.

    කොළඹ මහ නගර සභාව සහ පළාත් පාලන ආයතන වර්ග කරන කසළ කැලණියේ සිට අරුවක්කාළු වෙත රැගෙන යනු ලබන්නේ විශේෂ ආරක්‍ෂිත දුම්රියක් මගින්. එලෙස ගෙන යන කසළ අරුවක්කාළු සනීපාරක්‍ෂක කසළ අංගනයේ රඳවා තැබේ. කසළ ප්‍රවාහනයට දුම්රිය පෙට්ටි 30 බැගින් සමන්විත ආරක්‍ෂිත දුම්රිය දෙකක් යොදාගනු ලබන අතර, එක් දුම්රියකින් වරකට දසළ ටොන් 600ක් රැගෙන යා හැක.

    කසළ රඳවනයෙහි ක්‍රියාකාරීත්වය ආරම්භ කර වසර 02ක් ගතවන විට ස්වාභාවික වායු නිපදවිය හැක. ඉන් ලැබෙන බලශක්තිය ව්‍යාපෘතියේ ශක්ති ජනනයට සහ ජාතික විදුලිබල පද්ධතිය වෙත ලබාදීමට සැලසුම් කර තිබේ. විදුලි උත්පාදනය, අපජලය පවිත්‍ර කිරීම හා පර්යේෂණාගාරයේ අදාළ පරීක්‍ෂණ සිදු කළ හැකිවීම කසළ රඳවනයෙන් ලැබෙන අමතර වාසිවේ.

    රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් අරුවක්කාළු සනීපාරක්‍ෂක කසළ අංගනය ඊයේ නිරීක්‍ෂණයට එක්වූහ.

    Last modified on අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 20:21

    Latest News