මත්ද්‍රව්‍ය ජාවාරම හිස එසවීමට ඉඩ නොදෙන්න; ජනපතිගෙන් උපදෙස්

ජන 10, 2019

    පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    ඒ සඳහා අවශ්‍ය නීති ද කඩිනමින් සංශෝධනය කර ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දුන්නේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම සම්බන්ධයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

    පාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ද පොලීසිය වෙත උපදෙස් දුන්නේ ය.

    නීති විරෝධි මත්ද්‍රව්‍ය පාලනය උදෙසා රජය මේ වන පියවර රැසක් ගෙන තිබෙන අතර වැටලීම්වලට අදාළ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් අදාළ නීති පනත් සංශෝධන කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී. එම සියලු නීති සංශෝධන කඩිනමින් සිදුකර, අදාළ බලතල පවරාදීම් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

    එමෙන්ම මත්ද්‍රව්‍යවලට අදාළ විමර්ශන කටයුතුවල දී අනෙකුත් ආයතනවල සහය ලබා ගැනීම, බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර ඇතුළු කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, අදාළ ආයතන ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News