වෛද්‍ය උපකරණ දෙස්-විදෙස් වෙළෙඳපොළට

සැප් 24, 2020

    මෙරට නිපදවන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය උපකරණ දෙස්-විදෙස් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් බව, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී. ''Made in Sri Lanka'' ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරගම පිහිටුවා ඇති වෛද්‍ය පාරිභෝජන උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් “ටෙක්නෝමෙඩික්ස් ෆ්ලෙක්සිකෙයා“ ආයෝජන පුද්ගලික සමාගමේ නිලධාරීන් සමඟ එම හමුව පැවැත්විණ.

    “ටෙක්නෝමෙඩික්ස් ෆ්ලෙක්සිකෙයා“ ආයතනයේ සාමාන්‍යාධිකාරී සංජීව ජයසිංහ මහතා සඳහන් කළේ, කර්මාන්ත ශාලාව සඳහා එක්සත් රාජධානියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15කට වැඩි ආයෝජනයක් සිදුකර ඇති බවයි.

    කර්මාන්ත ශාලාව, නිෂ්පාදන කටයුතු සඳහා සූදානම් කර තිබේ. පළමු බහාලුම් අපනයනය මසකින් පමණ සිදු කිරීමට නියමිතයි. කර්මාන්ත ශාලාව, කඩිනමින් ස්ථාපනය කිරීමට රජයෙන් විශාල සහයක් ලැබුණු බව ප්‍රකාශ කළ සංජීව ජයසිංහ මහතා, නිෂ්පාදනය කරන සියලු උපකරණ ''Made in Sri Lanka'' සන්නාමය යටතේ අන්තර් ජාතික වෙළෙඳපොළට නිකුත් කරන බව ද කියා සිටියේය.

    කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදිත වෛද්‍ය උපකරණවලින් 95%ක් අපනයනය කිරීමට නියමිතයි. දේශීය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉතිරි 5% යොදවන බව, එම සමාගම කියා සිටී. ජනතා නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News