සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ගමනාගමනය සාමාන්‍ය පරිදි

නොවැ 16, 2020

    බස්නාහිර පළාතේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ඒම ප්‍රදේශවල ගමනාගමනය ඇතුළු අනෙකුත් කටයුතු අද සාමාන්‍ය පරිදි ආරම්භ කෙරිණ.

    කෙසේ වුවද, බස් රථ සහ දුම්රිය මගීන්ගේ අඩුවක් අද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළේය. සංචරණ සීමා ඉවත් කෙරුණ ද, බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 24ක්, තවදුරටත් හුදෙකලා තත්වයේ පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ.

    බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය වැළැක්වීමේ තහනම පනවනු ලැබුවේ, ඉකුත් 11 වැනි දිනයි. ඒ් කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 17ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 7ක් තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ ප්‍රදේශ 12ට අමතරව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය යන පොලිස් වසම්, නැවත දැනුම් දෙනතුරු අද අලුයම 5 සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරිණ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, ජා-ඇළ, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ යන පොලිස් බල ප්‍රදේශ ද තවදුරටත් හුදෙකලා තත්වයේ පවත්වාගෙන යනු ලබන අතර, කැලණිය පොලිස් වසම හුදෙකලා කෙරුණේ, අද අලුයම 5 සිටයි. හුදෙකලා කෙරුණු ප්‍රදේශවල සංචරණ නීති කඩකරන්නන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

    කොළඹ කොටුව සිට දුම්රිය ගමනාගමනය පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු දුම්රිය ගමනාගමනය ද අද සාමාන්‍ය පරිදි ආරම්භ කෙරිණ. කෙසේ වුවද, හුදෙකලා ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇත.

    Last modified on සදුදා, 16 නොවැම්බර් 2020 19:29

    Latest News