පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු සමග හිටපු ඇමති රිෂාඩ්ගේ සම්බන්ධයක් (වීඩියෝ)

නොවැ 16, 2020
  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සමග හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහත සබදතා පවත්වා ඇති බව ජනාධිපති කොමිසමේදි අද අනාවරණය වුණා.

    ජනාධිපති කොමිසම අද දිනයේ සිදුකළ සාක්ෂි විමසීම්වලදි අනාවරණය වුයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර සහ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු පසු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා අදාළ සැකකරුගේ නිවසට ගොස් ඇති බවයි.

    ජනාධිපති කොමිසම හමුවේ අද දින පළමුව සාක්ෂි ලබාදුන්නේ දෙහිවල ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරි සංජීව පොන්සේකා මහතායි.

    එහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් නැමැත්තෙකු පිළිබද ඔබ තොරතුරු දන්නේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් ග්‍රාම නිලධාරිවරයා සදහන් කළේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් යනු අංක 211/8 ගල්වල පාර දෙහිවල ලිපිනයේ කුලි නිවැසියෙකුව සිටි මොහොමඩ් හනිෆා මොහිනුදින් නැමැත්තාගේ පුත්‍රයා බවයි.

    එසේම මෙම මොහිනුදින් ඉස්සාන් අහමඩ් නැමැත්තා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම ප්‍රදේශයේම පදිංචි මොහොමඩ් අක්‍රම් අව්කන් සහ මොහොමඩ් අක්‍රම් සාජිහා යන සහෝදරයින් දෙදෙනා සමගද, බුහාරි මොහොමඩ් නැමැත්තා සමගද සම්බන්ධතා පවත්වා ඇති බව ආරක්ෂක අංශවල ඉල්ලීම පරිදි තමන් කළ සොයා බැලීම්වලදි අනාවරණය වූ බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා.

    මෙම ප්‍රදේශයේ සිටින අසල්වාසින්ගෙන් ලබාගත් තොරතුරු අනුව මොහිනුදින් ඉස්සාන් අහමඩ් හමුවීමට නිරන්තරයෙන් තරුණ පිරිස් පැමිණ ඇති බවත්, මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ තිබු නිතර අන්දෝලනයට තුඩුදුන් තවුහිද් ජමාත් මුස්ලීම් දේවස්ථානයක් සිය ආගමික කටයුතු සදහා භාවිතා කර ඇති බවත් ග්‍රාම නිලධාරිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

    එහිදි රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ මෙම මොහිනුදින් ඉස්සාන් අහමඩ් හමුවීමට කිසියම් ප්‍රභූවරයෙක් පැමිණ ඇති බව ඔබට අනාවරණය වුණේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සහ හිටපු තැපැල් අමාත්‍ය මොහොමඩ් හලීම් මෙම නිවසට ආගිය බවට අසල්වාසින්ගෙන් තමන්ට තොරතුරු වාර්තා වු බවයි.

    ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවට කැදවුයේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් පදිංචිව සිටි අංක 211/8 ගල්වල පාර දෙහිවල ලිපිනයේ හිමිකරු වූ දම්මික ප්‍රියන්ත සමරසිංහ නැමැත්තායි.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් දම්මික ප්‍රියන්ත සමරසිංහ මහතා කියා සිටියේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් නැමැත්තා පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 26 වන දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බවයි.

    ඉන් දින දෙකකට පසු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සිය ආරක්ෂකයින්ද සමග අත්අඩංගුවට පත් සැකකරුගේ නිවසට පැමිණි බවත් විනාඩි 30 ක පමණ කාලයක් නිවසේ රැදී සිටිමෙන් පසු පිටව ගිය බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා.

    ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙනු ලැබුවේ ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරි සමන්ත ජයමහමුදලි මහතායි.

    එහිදි ඔහු ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් යනු මුස්ලිම් අන්තවාදි ක්‍රියාකාරකම් සදහා අධාර අනුබලදීම සහ එම තොරතුරු ආරක්ෂක අංශවලින් වසන් කිරීමේ චෝදනා යටතේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතේ විධිවිධාන ප්‍රකාරව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන පසුව රැදවුම් කාලය අවසන්වීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සැකකරුවෙකු බවයි.

    ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවට පුවත්පත් මාධ්‍යවේදිනියක් කැදවා තිබු අතර හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කළා.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් සාක්ෂිකාරිය කියා සිටියේ 2019 මැයි 16 වන දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා එවකට හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට බලපෑම් කලේදැයි මාධ්‍යවේදින් විමසු බවත් එයට පිළිතුරු දෙමින් රිෂාඩ් බදියුදින් මහතා තමන්ට තෙවරක් කතා කළ බවත්, දෙහිවල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් විමසු බවත්, ඔබ මට අවුරුදු 1 1/2 කින් කතාකරන්න යැයි එවකට හමුදාපතිවරයා පිළිතුරු දී තිබු බවත් සාක්ෂිකාරිය සදහන් කළා.

    මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට අදාළව අද දිනයේ ජනාධිපති කොමිසම සාක්ෂි විමසු අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ රුෂ්ටි හබීම් මහතා කොමිසම හමුවේ පෙනි සිටියා.

    එහිදි නීතිඥවරයා සදහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා වෙනුවෙන් තමන් මීට පෙර කිසිදු අවස්ථාවක පෙනි සිට නොමැති අතර අද දින පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව මෙලෙස ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින බවයි.

    කෙසේ වෙතත් මෙම පෙනී සිටිමට අදාළව තම සේවාදායකයාගෙන් ඉදිරි උපදෙස් ලබාගත යුතු බැවින් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තම සේවාදායක රිෂාඩ් බදියුදින් දුරකතනයෙන් හෝ සම්බන්ධ කරගැනීමට හැකිවන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥවරයා ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම සලකා බැලු ජනාධිපති කොමිසම රිෂාඩ් බදියුදින් මහතාට තම නීතිඥවරයා සමග දුරකතනයෙන් සම්බන්ධය වීමට නෛතික බාධාවක් නැතිනම් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නා.

    Last modified on සදුදා, 16 නොවැම්බර් 2020 20:26

    Latest News