සහලින් ස්වයංපෝෂිත සැලැස්මට පිලිපීන සහය

ජන 18, 2019


    පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මකට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ සිදු විය.

     ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීමේ ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළව සැලැස්මට අත්සන් තැබීම සිදු වූ අතර ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කර ගැනීම එහි ඉලක්කයවේ. දේශගුණික විපර්යාස බලපෑම් අවම කර ගැනීම එහි අරමුණයි. පිලිපීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අද (18) පෙරවරුවේ පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

    එහි දී ජනාධිපතිතුමා සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් මෙම සැලැස්මට අත්සන් තැබීය.

    ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය වෙත ගිය ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එහි අධ්‍යයන කටයුතුවල නිරත ශ‍්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසිනි.


    එය ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය ලොව විශාලතම සහල් ජාන බැංකුවයි. ලෝකයේ විවිධ රටවලට අයත් සහල් වර්ග ඉදිරි අනාගතය වෙනුවෙන් එහි සංරක්ෂණය කර තිබේ. මෙම පර්යේෂණායතනය නියඟයන්ට, ජලගැලීම්වලට සහ පළිබෝධවලට ඔරොත්තු දිය හැකි වී ප‍්‍රභේද නිපදවීමට සෑම රටකට ම ජාන නිකුත් කරයි. දිනෙන් දින උණුසුම් වන ලෝකය තුළ සහල් වර්ග සංරක්ෂණය කිරීම සහ අධික වන ගෝලීය උෂ්ණත්වයට ගැළපෙන වී ප‍්‍රභේද නිපදවීම මෙහි කාර්යභාරයයි.

    එමෙන්ම බෝග කළමණාකරණය පිළිබඳ හැඳින්වීමක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර මෙම පර්යේෂණායතනයේ තැන්පත් කර ඇති ශ‍්‍රී ලංකාවට ආවේණික බිජ වර්ග ද ජනාධිතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
    ඩ්‍රෝනර් තාක්ෂණය ඔස්සේ බීජ රෝපණය කෙරෙන අයුරු ද ජනාධිපතිතුමා ඉදිරියේ ප‍්‍රදර්ශනය කෙරිණි.

    කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනාධිපති කැපවීම අගය කරනු වස් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ‍්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නම් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ සමරු ඵලකය නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ජනාධිපතිතුම කෘෂිකර්මාන්තය පිළිබඳ දක්වන උනන්දුව මෙහි දි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැඩි ඇගැයීමට ලක් වූ අතර සෑම රාජ්‍ය නායකයෙකුම කෘෂිකර්මාන්තය පිළිබඳ මෙවන් පැහැදිළි දර්ශනයකින් සහ උනන්දුවකින් කටයුතු කරන්නේ නම් කෘෂිකර්මාන්තයේ නව විප්ලවයක් ලොව පුරා සිදු වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. දේශගුණික විපර්යාස හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සහ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම සඳහා ලෝක සහල් පර්යේෂණායතනයේ සහය ඇතිව කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා වෙත පැහැදිළි කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත දේශයක් බවට පත් කිරීම තම අපේක්ෂාව බවයි.

    අද මෙම පරිශ‍්‍රයේ බිම් කොටසක් තමා නමින් නම් කර ලබාදුන් ඉහළම ගෞරවයට කෘතවේදිත්වය පළ කිරීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය. ආසියානු කලාපයේ රටවල මෙන්ම ලොව පුරා ජනතාව දිළිඳුබවින් මුදා ගනිමින් කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය ඉටු කරන කාර්යභාරය මෙහි දී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් විය.

    මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 18:55

    Latest News