රිෂාඩ් දෙවන දිනටත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙයි

නොවැ 22, 2020

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරන් වන රියාජ් බදියුදීන් සහ රිෆ්කාන් බදියුදීන්, සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් සමඟ පවත්වා ඇති සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළා.

    එමෙන්ම ඔහුගේ සහෝදරියකට අයත් නිවසක බෝම්බකරුවන් රැඳීසිට තිබීම සම්බන්ධයෙන් ද කොමිසම මෙහිදී වැඩිදුරටත් කරුණු විමසා සිටියා.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ දෙවන දිනටත් සාක්ෂි ලබාදුන්නා.

    කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ මන්ත්‍රීවරයා සාක්ෂි ලබාදුන් අතර පෙර දිනයේ මෙන්ම ඔහු ඊයේ දිනයේත් එම සාක්ෂි ලබාදුන්නේ දම්ළ භාෂාවෙන්.

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය - (female lawyer) " මුස්ලිම් කාන්තාවන් අඳින නිකාබය, බුර්කාව වැනි ඇඳුම් පිළිබඳ ඔබේ අදහස කුමක්ද ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " යම්කිසි අයෙකුගේ ඇඳුම පිළිබඳ කාටවත් බලපෑම් කරන්න බැහැ. මුස්ලිම් නායකයෙක් විදියට මට ඒකට මුකුත් කියන්න බැහැ "

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය - " එය විලාසිතාවක් නෙවෙයිනෙ... මුස්ලිම් ඇඳුමක් නිසයි ඔබෙන් අහන්නේ..."

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " ඉස්ලාම් ආගම තුළ ශරීරයේ සියලු කොටස් වහගෙන සිටිය යුතුයි කියලා නීතියක් නැහැ "

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය - " එහෙනම් වර්තමානයේ දකින විදියට මෙහෙම සම්පූර්ණයෙන් වසා සිටීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නෙවෙයිද ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " දැන් කොරෝනා පැතිරිලා නිසාත් සම්පූර්ණයෙන් වහන් ඉන්නවනේ ඉතින්... ආරක්ෂක අංශ කියනවනම් ඒක ගැටලුවක්, ඒ නිසා ආරක්ෂක පියවරක් ගත්තොත් ඒ ඇඳුම්වලට ඒ නීතිය අනුමත කරන්න ඕනේ "

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා - (male lawyer) " ඔබේ සහෝදරියක් මේ වනවිට කැනඩාවේ පදිංචි වී සිටිනවා. ඇයට අයිති වත්තල එඬේරමුල්ල නිවසක් පාස්කු ප්‍රහාරය එල්ලකළ බෝම්බකරුවන් ආරක්ෂිත නිවාසයක් ලෙස භාවිත කර තිබූ බව ඔබ දන්නවාද ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " බෝම්බ ප්‍රහාරයට පසුව මම ඒ ගැන දැනගත්තා. මොකටද දුන්නේ දන්නැ හැබැයි කුලියට තමයි ලබාදීලා තිබුණේ "

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා - " ප්‍රහාරකයන් වත්තල නිවසේ සිටියදී ඔබ ඒ නිවසට ගියාද ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " නැහැ ස්වාමීනි "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඔබේ සොහොයුරකු වන රියාජ් බදියුදීන් යම් අවස්ථාවක අත්අඩංගුවට පත් වුණා. හේතුව දන්නවාද ඔබ ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " මාධ්‍යවල ගියා ඉන්ෂාෆ් අහමඩ් කියන බෝම්බකරු සමඟ හත්වරක් රියාජ් දුරකතනයෙන් කතා කරලා තිබුණා කියලා. මං හිතන්නේ 2019දි වෙන්න ඔනේ "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " මොනවාද ඉන්ෂාෆ් සමඟ රියාජ් කතාකරලා තියෙන්නේ ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " මේ ඉන්ෂාෆ් අහමඩ්ගේ තඹ අපනයන කටයුතු නතර කරන්න කටයුතු කරපු අවස්ථාවක ඒ ගැන රියාජ්ගෙන් ඉන්ෂාෆ් අහලා තියෙනවා. ඒක රියාජ් මගෙනුත් ඇහුවාම මම හේතුව හෙව්වා. ජනාධිපති කාර්‍යාලයෙන් තමයි ඒක නවත්තලා තිබුණේ. මම ඒ නිසා රියාජ්ට කිව්වා මුකුත් කරන්න බැහැ කියලා. රියාජ් ඒක ඉන්ෂාෆ්ට කියලා තිබුණා. ඔය හත් පාරම ඉන්ෂාෆ් තමයි රියාජ්ට කතාකරලා තිබුණේ ස්වාමීනි. "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඔබ ඔවුන්ට තඹ අපනයනය කරන්න උදව් කරලා තියෙනවා නේද? සාක්ෂි තිබෙනවා අනිත් අපනයන කරුවන් ඉන්නකොට ඉන්ෂාෆ් අහමඩ්ගේ තඹ කර්මාන්තයට කිලෝග්‍රෑම් 25000ක් වැඩියෙන් දීලා තිබෙන බව. ඔබ ඒ ගැන මොකද කියන්නේ ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " කවදාවත්ම නැහැ ස්වාමීනි. මගේ කිසිම සම්බන්ධයක් නැහැ ඒවට "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඔබ කිසිම සම්බන්ධයක් නැහැ කිව්වට මෙහෙම දෙයක්නම් පෙනී යනවා බදියුදීන් මන්ත්‍රීතුමා. ඔබ මේ තඹ ලබාදෙන්න අත්සන් කරලත් තියෙනවා. ඒ නිසා ඍජුව නොවුණත් වක්‍රව පෙනීයනවා ඔබ ඊබ්‍රහිම් බෝම්බකරුවන්ට සහය දීලා තිබෙනවා කියලා.. එහෙම නේද ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " සම්පූර්ණයෙන් අසත්‍යය චෝදනාවක් කියලා තමයි මටනම් කියන්න තියෙන්නේ "

    ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු - " ඔබ සහරාන්ව දැනන් හිටියද ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " නැහැ ස්වාමීනි "

    ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු - " නමුත් ඔබේ සහෝදරයන් සහරාන්ව දැනන් හිටියා නේද ?"

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් - " නැහැ ස්වාමීනි. අඩුතරමේ ඇමතුමක්වත් දීලා නැහැ. මං ඇහුවා මල්ලිලා දෙන්නගෙන්ම. දන්නැ කියල කිව්වා සහරාන්ව "

    Latest News