ජනපති යළි දිවයිනට

ජන 20, 2019

    පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාතෘ භූමියට ප‍්‍රතිලාභ රැසක් සමඟින් සිය රාජ්‍ය සංචාරය සාර්ථකව නිමවා ඊයේ (19) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේ ය.

    ජනාධිපතිතුමා පිලිපීන රාජ්‍ය සංචාරය ආරම්භ කළේ පසුගිය 15 වෙනිදායි. ඒ 58 වසරක දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ පිලිපීන රාජ්‍ය සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමිනුයි.

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප‍්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ කැමැත්ත පළ කෙරුණේ ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ සුවිශේෂී ප‍්‍රතිලාභයක් ලෙසයි.

    එමෙන්ම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පිලිපීන රාජ්‍ය සංචාරයේ තවත් විශේෂ කටයුත්තක් ලෙස පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු කි‍්‍රයාකාරි සැලැස්මකට අත්සන් තැබීම ද සිදු විය.

    එමෙන්ම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ධූර කාලය තුළ උර දී සිටින සුවිශේෂීම කාර්යභාරය වූ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා පිලිපීන රජයේ සහය පළවීම ද මෙම සංචාරයෙන් හිමිවූ සුවිශේෂි ප‍්‍රතිලාභයකි.

    ඒ සඳහා ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිත බව ප‍්‍රකාශ කෙරුණේ ජනාධිපතිතුමා පිලිපීන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප‍්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග පැවති සාකච්ජාවේදීය.

    1961 වසරේ ආරම්භ කෙරුණු ශී‍්‍ර ලංකා - පිලිපීන රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවල සුවිශේෂී කඩඉමක් වසර 58 කට පසු සනිටුහන් කරමින් මාතෘ භූමියට ප‍්‍රතිලාභ රැසක් සමගින් ජනාධිපතිතුමාගේ පිලිපීන සංචාරය නිමාවට පත් විය.

    Latest News