මෙරට කොවිඩ්-19 වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 24 දහස ඉක්මවයි (වීඩියෝ)

දෙසැ 15, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස 24,867 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    සුවය ලැබූ තවත් 558 දෙනෙකු රෝහල්වලින් අද පිටව ගියේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 57 දෙනෙකු සුවය ලබා අද පිටව ගියේය. ඔවුන් කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    පින්නවල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි 40 දෙනෙකු සහ රඹුක්කන දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 5ක් සුවය ලබා පිටව ගියේය. උඳුගොඩ ප්‍රාදේශීය රෝහලේ පිහිටි කොවිඩ්-19 ප්‍රතිකාර ඒ්කකයේ සිටි 8ක් සුවය ලබා පිටව ගිය පරිසට අයත්.

    මේ මස ආරම්භයේ සිට අද දක්වා කොවිඩ්-19 රෝගය වැළඳුණු 7,877 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද පිටව ගිය පිරිසට 558 ක් ඇතුළත්.

    මෙරට ඊයේ PCR පරීක්ෂණ 13,479ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව දස ලක්ෂ 42,965ක්.

    බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    මූල්‍ය ගනුදෙනුවලදී මුදල් වෙනුවට ඩිජිටල් බැංකු සේවා උපකරණ භාවිත කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන බැංකු සේවක පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සීතාවක අපනයන සැකසුම් කලාපය ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ, තවත් රෝගීන් 18ක් හඳුනා ගනු ලැබීය.

    කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිවේදියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට, හඳුනා ගැනීමත් සමඟ අධිකරණ සංකීර්ණය විෂබීජානුහරණය කෙරිණ. අද දිනයේ පමණක් ඒය වසා දැමුණු අතර, අධිකරණ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

    පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගෙන තිබේ. ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. අද දින පාසල් පැමිණි දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, පාසලේ කටයුතු සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියාත්මකයි.

    කොවිඩ්-19 වසංඟතය හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 4ක් අද සිට තාවකාලිකව වසා දමා තිබේ. වවුනියාව දෙමළ මහා විද්‍යාලය, ගාමිණි මහා විද්‍යාලය, වවුනියාව බාලිකා පාසල සහ සී.ටී. ඒම්.ඒස්. විද්‍යාලය ඒ් අනුව, වසා දමා ඇතැයි, පළාත් අධ්‍යාපන ලේකම් ඒන්. ඉලංකෝවන් මහතා සඳහන් කළේය. වවුනියාව, ගුඩ්සෙට් මාර්ගයට සහ තිරුණාවක්කුලම හා සාලම්භකුලම් යන ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යොදා සංචාරණය සීමා කර ඇති බව වාර්තාවේ.

    සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියා නොකළ ගිනිගත්හේන, පිටවල ප්‍රදේශයේ, කැලණි ගඟ අසබඩ රාෆ්ටින් සේවා මධ්‍යස්ථානයක් වසා දමා තිබේ. සේවකයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අඹගමුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් පියවර ගනු ලැබීය.

    පොලිස්බල ප්‍රදේශ 9ක සහ ග්‍රාම සේවා වසම් 24ක හුදෙකලා තත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 55ක් අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ් සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 1,445ක්.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 20:13

    Latest News