ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්...ජනපති

ජන 01, 2021

    ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අවුරුදු පණිවිඩය නිකුත් කරමින් පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

    නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි. එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණවය.
    සෞභාග්‍යය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලා ගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමග අපි ද පෙරමුණ ගත්තෙමු. බරපතල අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසාර සංවර්ධනයක අත්තිවාරම සැකසීමට අපට හැකි විය. ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේ දී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්ය. නව රජය ගොඩනගනු ලැබූයේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිවය. රටටත් ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන්නෙමු.
    “සෞභාග්‍යයේ දැක්මේ” ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. මේ සඳහා මුළුමහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සෑම රාජ්‍ය සේවකයකුම තමාට පැවරෙන රාජකාරී කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවේ. එම කැපවීම සෑම රජයේ සේවකයෙකුගෙන්ම මම බලාපොරොත්තු වෙමි. එසේම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවෙමින් කටයුතු කිරීමද අපේක්ෂා කරමි.
    එළැඹෙන වසරේදී කුමන බාධකයකට මුහුණ දීමට සිදුවුවත් ඒ සඳහා ආත්මශක්තිය හා ධෛර්යය අප සතුව ඇති බැව් අපි දැඩිව විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක වන නිසා රට තුල එම විශ්වාසය අප තහවුරු කර ඇත.විනයගරුක රටක ආර්ථික සහ සාමාජයීය සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින්, අපි සියලුදෙනාම විනය ගරුකව, අපගේ කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට මේ වසර තුලදී අදිටන් කර ගනිමු.
    මෙරට මෙන්ම එතෙර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, ඔවුන්ගේ දූ දරුවන්ටත් එළැඹෙන වසර රෝග පීඩාවලින් තොර, ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවා!යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
    Last modified on සිකුරාදා, 01 ජනවාරි 2021 09:42

    Latest News