මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මරණ දඬුවම හිමිවූවන්ගේ ලේඛනය

ජන 23, 2019

    මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඊයේ කරුණු පැහැදිලි කළ බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.

    අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඊයේ ප්‍රකාශ කර ඇත්තේ, මත්ද්‍රව්‍ය වැරදි නිසා මරණ දඬුවම නියම වී ඇති 48 දෙනෙකුගේ ලේඛනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉකුත් 31 වැනිදා යොමු කර ඇති බවයි.

    ඒ අතරින් 30 දෙනෙකු සිය දඬුවමට එරෙහිව මේ වනවිට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. ඉකුත් වසරේ ජූලි මාසයේ දී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීමෙන් පසු අදාළ නාම ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි අමාත්‍යාංශය පවසන්නේ.

    ඒ අනුව 18 දෙනෙකුගේ නාම ලේඛනයක් අමාත්‍යාංශය වෙත ලැබී තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටියදී තවදුරටත් ජාවාරමේ යෙදුණු තැනැත්තන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ඉකුත් ජූලි 25 වැනිදායි.

    අදාළ නාම ලේඛනය නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු වැරදිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම දිය හැකි බවට අනුමත කරනු ලැබ තිබෙනවා. පසුව තවත් අයෙකුගේ නමක් ඊට එක්වූ අතර, ජනාධිපතිතුමා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරීන් අතර මරණීය දණ්ඩන නාම ලේඛනය පිළිබඳව සාකච්ජාවක් ද පැවති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

    එම ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වූ බව, අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

    Latest News