රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ජන 12, 2021

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරිණ.

    සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.
    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.
    ඒ අනූව, රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනූව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක  හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබිණ.
    2017 වසරේ අගෝස්තු මස 21 වැනිදා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබිණ.
    එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
    ඒ අනූව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා තිබිණ.
    Last modified on අඟහරුවාදා, 12 ජනවාරි 2021 11:31

    Latest News