මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී .බී. දෙහිදෙණිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී සිටීමක් නොකරන හෙයින් ඔවුන් වෙනුවෙන් තමා අධිකරණය හමුවේ කරුණු දක්වන බව සඳහන් කළේය.
තම සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනු කර නොමැති හෙයින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඒ අනුව අදාළ විරෝධතා පෙබරවාරි මස 8 වැනි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපතිවරයාට කල් ලබාදුන් අධිකරණය එම විරෝධතාවලට අදාල ප්රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි මස 15 වැනිදාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.
ඊට අමතරව පෙත්සම්වලට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මස 24 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙසයි අධිකරණය සියලු පාර්ශ්වයන්ට දැනුම් දුන්නේ.
අනතුරුව මෙම පෙත්සම් පිළිබඳව විභාගය මාර්තු මස 8, 9 සහ 10 යන දිනවල දී සිදුකරන බවද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් පාස්කු ඉරු දින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි අංශ වලින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර තිබියදී එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ඉදිරිපත් කර තිබිණ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රහාරයෙන් අගතියට පත් වූ පාර්ශවයන්, කිතුනු පූජක තුමන්ලා ඇතුළු පාර්ශව 12 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.