ගෝඨාභයගේ කෞතුකාගාර නඩුවේ සාක්ෂිකරුවෙකුට අවවාද

ජන 25, 2019

    මැදමූලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකුට අධිකරණය අවවාද කරයි.

    මේ නඩුවේ 67වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ඩබ්ලිව්.එම්.ඒ.එස්. ඉද්දවෙලට සිය වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන අධිකරණ ශාලාව තුළ කටයුතු කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවවාද කර ඇත.

    සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද(25) පෙරවරුවේ කැඳවන ලදී.

    එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පෙන්වා දුන්නේ ඉකුත් නඩු දිනයේ සාක්ෂිකාර ඉද්දවෙල මහතා නඩුවේ පළමුවන විත්තිකරු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අධිකරණ ශාලාව තුළදී අතට අතදී ආචාර කොට සුහද කතාබහක නිරත වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. සාක්ෂිකරුවන්ට විත්තිකරුවන් සමඟ අධිකරණ ශාලාව තුළ සතුටු සාමිචියේ නිරත වීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් අදාළ සාක්ෂිකරුට අවවාද කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඩබ්ලිව්.එම්.ඒ.එස්. ඉද්දවෙල මහතාට සිය වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන අධිකරණ ශාලාව තුළ කටයුතු කරන ලෙස අවවාද කරන ලදී.

    මේ අතර නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් තිදෙනෙකුට විදේශගතවීම සඳහා විශේෂ මහාධිකරණයෙන් අවසර ලැබිණි.
    නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ඩබ්ලිව්.එම්.ඒ.එස්. ඉද්දවෙල සහ රොහාන් සෙනෙවිරත්න යන සාක්ෂිකරුවන් දෙදෙනාට රාජකාරිමය කටයුතු සදහා මෙසේ විදේශගත වීම සඳහා අවසර ලබා දුන්හ. ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත සුරේන් බණ්ඩාර නැමැති තුන්වන සාක්ෂිකරුට රුපියල් ලක්ෂ 15 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හළ අධිකරණය, නැවත දැනුම් දුන් අවස්ථාවක සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කළේය.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

    Last modified on සිකුරාදා, 25 ජනවාරි 2019 16:50

    Latest News