වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛකයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීමට නොහැකියි - අභියාචනාධිකරණය

පෙබ 17, 2021

    රක්ෂිත නොවන වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරු යටතට පත් කරමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බව අභියාචනාධිකරණය ප්‍රකාශ කලා.

    අදාළ චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ සමස්ථ භූමි ප්‍රදේශයෙන් 17% ක පමණ වනාන්තර පවතින බව ප්‍රකාශ කලා.

    යෝජිත චක්‍රලේඛය ක්‍රියාත්මක වීම නිසා එම වන ගහනයෙන් සියයට 25 ක් පමණ විනාශ වීමේ අනතුරක් උද්ගතව තිබෙන බවයි, ඔහු සඳහන් කර සිටියේ.

    ඒ යටතේ දැනටමත් හෙක්ටයාර අක්කර 5000 පමණ හෙළි පෙහෙළි කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද නීතිඥ දාබරේ මහතා සඳහන් කළා.

    ඉන් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 22 වනදා තෙක් කල් තැබුණා.

    මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට ඉල්ලීමක් කරමින් මෙම නඩුවට පාදකවන චක්‍රලේඛය හේතුවෙන් ශීග්‍ර වන විනාශයක් සිදුවීමට ඉඩකඩ පවතින හෙයින් මෙම පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් දෙන තුරු කිසියම් හෝ කිසියම් හෝ තහනම් නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළා.

    ඊට ප්‍රතිචාර දැක්වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශවයේ කරුණු විමසීමකින් තොරව තමන්ට කිසිදු නියෝගයක් නිකුත් කිරීම කළ නොහැකි බවයි.

    අධිකරණයට කටයුතු කිරීමට සිදුවන්නේ රටේ පවතින නීතියට අනුව බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එය තේරුම් ගන්නා ලෙසද පෙත්සම්කාර පාර්ශ්වයට දන්වා සිටියා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තර කරුවන් විසින් නිකුත් කළ "2020 /1/එම්.ඩබ්ලිව්.එෆ්.සී ” දරණ චක්‍රලේඛය මඟින් නොවැම්බර් 04 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංරක්ෂිත නොවන වනාන්තර ගැන තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා තිබෙන බවයි.

    ඒ අනුව මෙම වනාන්තර වලට වන සංරක්ෂණ ආඥා පනතේ විධි විධාන මඟින් ලැබී තිබූ ආරක්ෂාව මෙම චක්‍රලේඛය මඟින් ඉවත් වී තිබෙන බවද පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

    මෙම නව චක්‍රලේඛය ක්‍රියාත්මක කළහොත් එම වනාන්තර වලට බරපතල හානිදායක තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බැවින් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Latest News