කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් - මරණ 430ක් දක්වා ඉහළට

පෙබ 19, 2021

    දෛනික කොරෝනා ආසාදිතයින් ගේ වාර්තාවිම පසුගිය සති කිහිපයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමේ අඩුවක් ඊයේ දිනයේදී දක්නට ලැබෙනවා.

    පසුගිය සති කිහිපයේදී ආසාදිතයින් 700 ඉක්මවා දෛනිකව වාර්තාවීම සිදුවුවත් ඊයේ දිනයේදී මෙරටින් වාර්තාවී ඇත්තේ, ආසාදිතයින් 514 දෙනෙකු පමණයි.

    කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන්.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 105 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඉන් 28 දෙනෙකු හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා විය.

    මේ අතර, ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

    12 දෙනෙකු මීරිගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

    ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68ක්, කළුතරින් 51ක්, කුරුණෑගල 12ක්, ගාල්ල 11ක්, රත්නපුර 51ක්, අම්පාර 24ක්, මාතර 01ක්, කෑගල්ල 19ක්, බදුල්ල 11ක්, පුත්තලම 05ක්, මාතලේ 25ක්, නුවරඑළිය 09ක්, අනුරාධපුර 11ක්, මඩකලපුව 09ක්, වව්නියාව 01ක්, ත්‍රිකුණාමලය 01ක්, මොණරාගල 01ක්, මුලතිව් 13ක්, කිලිනොච්චි 04ක් සහ විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 13ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත.

    ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඊයේ දිනයේදී මෙරට PCR පරීක්ෂණ 15,386ක් සිදුකර ඇති බවයි.

    Latest News