ජූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි 84 වැනි ජන්ම දින ආශිර්වාද බෝධි පූජාව - අග්‍රාමාත්‍යතුමා‌ගේ ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

පෙබ 21, 2021
  • කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේනාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ 84 වැනි ජන්ම දින ආශිර්වාද බෝධි පුජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ දී ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.

    විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩබලන අධ්‍යක්ෂ වැලමිටියාවේ ඤාණරතන ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ.

    "වැලමිටියාවේ කුසලධම්ම අපේ නායක හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සෑම වසරකම පිංකම් මාලාවක් සිදු කරනවා. නායක හිමියන් තරමක රෝගී තත්වයෙන් සිටියද අප තීරණය කළා ඒ පිංකම් මාලාව මෙවර ජන්ම දිනයටත් ඒ අයුරින්ම සිදු කරන්න.

    අපේ නායක හිමියන් රටේ අධ්‍යාපනික, ආගමික හා සමාජයීය සෑම අංශයකම විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. ඒ වෙනුවෙන් උන්වහන්සේ වැඩම නොකළ ස්ථානයක්, විහාරයක් මේ රටේ නැති තරම්.

    අපේ නායක හිමියන්ට නිදුක් නිරෝගීභාවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා.

    විශේෂයෙන් මෙවර පිංකම සඳහා සම්බන්ධ වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ආරාධනා කළා.

    එතුමාගේ පැමිණිම අපි ඉතා අගය කොට සලකනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටට තවදුරටත් සේවය කරන්න අවශ්‍ය නිදුක් නීරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. " යැයි ඤාණරතන හිමියෝ පැවසූහ.

    එසේම, පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නායක හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, උන්වහන්සේගේ ශාසනික මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිදුක් නිරෝගී, චීරජීවනය ප්‍රාර්ථනා කළේය.

    මෙම අවස්ථාව සඳහා අත්තනගල්ල රාජමහා විහාරාධිපති පන්නිල ආනන්ද නායක ස්වාමින් වහන්සේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඇතුළු සැදැහැවතුන් පිරිසක් සහභාගීවී සිටියහ.

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 21:41

    Latest News