කොවිඩ් වසංගතය දුරුවේවායි පතා දිවයිනේ පළාත් 9ක ආශිර්වාද පුජා මාලාවක්

පෙබ 21, 2021

    මේ වනවිට ශ්‍රී ලංකාව පුරා පැතිරී යන කොරෝනා වසංගතය දුරුවී ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජයටත්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්ය අංශ ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ටත්, ලක්වැසි, ලෝකවාසී සියලු ජනතාවටත්, ත්‍රිවිධ රත්නයේ පිහිට සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පුජා මාලාවක් ඊයේ (20) සවස පැවැත්විණි.

    මේ අනුව දිවයිනේ පළාත් නවය (09) නියෝජනය වන පරිදි, සර්වාගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් එම සියලු ආගම් නියෝජනය වන පරිදි ආගමික ස්ථාන නවයකදී එකම වේලාවකදී මෙම පින්කම් මාලාව පැවැත්වීම සිදුවිය.

    එහි උතුරු මැද පළාත් පිංකම අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය රාජයාණන් අභියසදී, රුවන්වැලි චෛත්‍යාමාධීකාරී පූජ්‍ය පණ්ඩිත පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

    එහිදී සමස්ත ශ්‍රී ලාංකිකයින් සහ ලෝකවාසී ජනතාවට සෙත් පතා සෙත් පිරිත් සඤ්ඡායනා කිරීමද සිදුවිය.

    “සමාජ සුභසාධක සහ ආර්ථික සංවර්ධන පදනම” මගින් මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබිණි.

    බෙල්ලන්විල රජමහා විහාරය, රත්නපුර මහා සමන් දේවාලය, දෙවුන්දර දේවාලය, හලාවත ශාන්ත ජූඩ් දේවස්ථානය, ගැටඹේ රජ මහා විහාරය, මුතියංගන රජ මහා විහාරය, මුතුර් ජුම්මා පල්ලිය හා උතුරු පළාතේ අන්වනේයර් කෝවිල යන ස්ථාන වලදීද මීට සමගාමීව පින්කම් සංවිධානය කර තිබිණි.

    Latest News