කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

පෙබ 27, 2021
  • රටට අවශ්‍ය කෘෂි බෝග, රට තුළම වගා කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විදේශයන් වෙත ඇඳී යන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පළ කළේ, වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද එක්වෙමින්.

    උත්සවය සංවිධාන කර තිබුණේ, හම්බන්තොට කසාගල රජමහා විහාරස්ථාන භූමියේ. පොකුරු ලෙස වගා කිරීම සඳහා ජනතාව පෙළෙඹවීම සහ ව්‍යවසායකත්ව සංකල්පය වර්ධනය කරමින් ගොවීන්ට එය හඳුන්වා දීම මෙහි අරමුණයි.

    මේ යටතේ එක් එක් කලාපවලට විශේෂිත අපනයන කෘෂි කලාප බිහි කෙරේ. එහිදී පැළ මිලියන 3.5ක් වගා කිරීමට නියමිතයි. එය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා ටොම්ජේසී අඹ පැළයක් උත්සව භූමියේ රෝපණය කළේය.

    මහා සංඝරත්නය සහ චමල් රාජපක්‍ෂ, රමේෂ් පතිරණ, මහින්ද අමරවීර යන අමාත්‍යවරු ද ජානක වක්කුඹුරු, ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 27 පෙබරවාරි 2021 19:47

    Latest News