හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

මාර් 10, 2021

    2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ අද නීතිඥවරයෙක් ද පෙනී සිටියේ නැහැ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තු නිකුත් කළා.

    අනතුරුව නඩුව ජුනි මස 17 වනදා කැඳවීමට නියම කළා.

    එදින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇපකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන මෙන්ද විනිසුරුවරයා නියෝග කළා.

    2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා කොළඹ, දෙමටගොඩ පුදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් වාහනවලින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, පහරදී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ ආධාරකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ නඩු පවරනු ලැබුවා.

    නඩු විභාගය අතරවාරයේ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අට දෙනා ඉකුත් 2017 වසරේ නොවැම්බර් මස 24 වනදා අධිකරණය හමුවේ වරද පිළිගත්තා.

    ඉන් අනතුරුව අධිකරණය විසින් ඔවුන්ට වසර 12 කට අත්හිටවූ වසර 02 ක් බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.

    එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම චෝදනාවලට වරද පිලිනොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විට නඩු විභාගයක් පැවැත්වෙනවා.

    Latest News