මුතුරාජවෙළ ද රම්සාර් තෙත් බිම් ලැයිස්තුවට

මාර් 10, 2021

    කොළඹ නගරය ලෝකයේ පළමු රම්සාර් තෙත් බිම් නගරය ලෙස රම්සාර් සම්මුතිය ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී තෙත් බිම් සංරක්ෂණයට ගෙන ගිය වැඩ පිළිවෙළ නිසයි.

    ජනාධිපතිතුමන්ගේ අරමුණ මුතුරාජවෙළ ද රම්සාර් තෙත් බිම් ලැයිස්තුවට ඇතුළත් කළ හැකි පරිදි සංරක්ෂණය කිරීමයි, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මුතුරාජවෙළ තෙත් අභයභූමිය සංරක්ෂණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිසර, වනජීවි, වනසංරක්ෂණ අමාත්‍යංශවල පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කිරීම රජයේ අපේක්ෂාව වේ. එමෙන්ම මුතුරාජවෙළ තෙත් බිම දැනට රම්සාර් තෙත් බිම් ලැයිස්තුවට අයත් නොවේ. එම නිසා මෙම තෙත් අභයභූමිය රම්සාර් තෙත් බිම් නාමාවලියට ඇතුළත් වන පරිදි එහි සංරක්ෂණ කටයුතු සිදු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ අරමුණ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

    මුතුරාජවෙළ තෙත් අභයභූමිය සම්බන්ධව පැන නැගී ඇති ගැටළු සොයා බැලීම සඳහා පත් කර ඇති කමිටුවේ සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විනි.

    එම අවස්ථාවට පරිසර, වනජීවි, ගොවිජන සංරක්ෂණ, කෘෂිකර්ම, නාගරික සංවර්ධන අධීකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වනසංරක්ෂණ ආදි සියලුම වගකිව යුතු ආයතනවල නියෝජිතයින් මෙන්ම අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් මෙන්ම පරිසර සංවිධානවල නියෝජිතයින් කිහිප දෙනෙක් ද සහභාගි වුහ.

    එම පිරිස් මෙම සාකච්ඡාවේ දී මුතුරාජවෙළ අභයභූමියක් වශයෙන් වනජීවි දෙපාර්තමේන්තුව යටතේ පවරාගෙන සංවර්ධනය කරන ලෙස ඉල්ලා සිටියේය. මුතුරාජවෙළ 1990 දී හෙක්ටෙයාර් 3064ක් තරම් විශාල ප්‍රදේශයක පිහිටා තිබුනත්, දැනට ඉතිරිව තිබෙන්නේ හෙක්ටෙයාර් 1200ක් තරම් ප්‍රමාණයකි. මේ නිසා දැනට විවිධ පුද්ගලයින් විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් හා මිනිසුන් පදිංචිව සිටින ස්ථානවලින් ඉවත් කිරීමේ දී ඔවුන් සඳහා විකල්ප ක්‍රියාත්මක කිරීමට සිදුවේ ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන පරිසර හා වනජීවි අමාත්‍යංශවලට එවැනි විශාල මුදලක් වැය කිරීමට හැකියාවක් නැත.

    නමුත් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මෙම තෙත් බිම සංරක්ෂණය කර අනාගත පරපුර සඳහා රම්සාර් තෙත් බිමක් වශයෙන් එම නාමාවලියට ඇතුළත් කළ හැකි පරිදි සංරක්ෂණය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

    මුතුරාජවෙළ තෙත් අභයභූමිය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කළත් එහි අයිතිය වනජීවි දෙපාර්තමේන්තුවට පවරනවා. මම පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන තෙක් මුතුරාජවෙළට හානියක් සිදුවෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගකීම මම බාරගන්නවා. නමුත් මුතුරාජවෙළ රැක ගත යුතු යැයි කියමින් හඩ නැගූ පිරිස් අපි ඒ සඳහා කටයුතු කරන විට ඊට විරුද්ධව කතා කරනවා. මෙය තේරුම් ගත නොහැකි තත්ත්වයක්. මුතුරාජවෙළ කඩිනමින් සංරක්ෂණය නොකළහොත් වැඩි කල් යාමට මත්තෙන් දැනට තිබෙන ඉඩම් ප්‍රමාණයත් අහිමි වුනොත් අපිට කරන්නට කිසි දෙයක් ඉතිරි නොවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වුවද මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනට මුතුරාජවෙළ තෙත් අභයභූමිය සඳහා අයත් බිම් හඳුනාගෙන ඇති අතර එය හෙක්ටෙයාර් 5600ක් වේ. ඒ අනුව කළින් පැවැති ප්‍රමාණයටත් වඩා බිම් ප්‍රමාණයක් ඊට අයත් කිරීමට තටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මුතුරාජවෙළ සංරක්ෂණය සඳහා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සතියක් තුළ කමිටුවට තම තීරණය ලබා දෙන ලෙස අමාත්‍යවරයා නියෝජිත පිරිසට දැනුම් දුන්නේය. මුතුරාජවෙළ අභයභූමිය සංරක්ෂණයට ජනාධිපතිතුමා ගෙන ඇති තීරණය බුද්ධිගෝචර තීරණය බව ද අමාත්‍යවරයා කීය.

    ලෝකයේ පළමු රම්සාර් තෙත් බිම් නගරය ලෙස කොළඹ නගරය නම් කිරීමට රම්සාර් සම්මුතිය තීරණය කළේ වත්මන් ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්වරයා ගෙන ගිය වැඩ පිළීවෙළ නිසාය. බැද්දගාන, කෝට්ටේ, බෙල්ලන්විල, කිඹුලාවල, කොළොන්නාව, දියසරු හා දියත උයන ආදි තෙත් බිම් සියල්ලම සංරක්ෂණය කර දැකුම්කළු මෙන්ම ආරක්ෂිත තෙත් බිම් ලෙස සංවර්ධනය කිරීම නිසා රම්සාර් සම්මුතිය විසින් කොළඹ ලොව පළමු තෙත් බිම් නගරය ලෙස නම් කර තිබේ.

    එහෙත් ඊට මුතුරාජවෙළ අයත් වුයේ නැත. ඊට හේතුව එහි ඇති අවිදිමත්බව නිසාය. එමනිසා මුතුරාජවෙළත් සංරක්ෂණය සඳහා පියවර ගැනීම මගින් කොළඹ සමස්ත තෙත් බිම් පද්ධතියම අනාගතයේ කිසිදු අනතුරකින් තොර තෙත්බිම් බවට පත් කිරිමට හැකි වන බව ද අමාත්‍යවරයා කීය. සතියක් තුළ තම අදහස ලබා දීමට පියවර ගන්නා බව නියෝජිතයෝ ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.

    Latest News