පාස්කු ප්‍රහාරය පිළිබඳව අමාත්‍ය සරත්ගෙන් තොරතුරු රැසක් පාර්ලිමේන්තුවට

මාර් 10, 2021

    පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධ විවාදය පාර්ලිමේන්තුවේදී අද (10) ආරම්භ කෙරිණ.

    එහිදී මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් හෙළි කරනු ලැබීය. පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා මෙරටදී පුද්ගලයින් 676ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 202ක් රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති අතර, තවත් 66ක් රඳවාගෙන විමර්ශන සිදු කෙරෙමින් පවතී.

    408 දෙනෙකු ඇපමත නිදහස්ව සිටියද ඔවුන් සම්බන්ධ විමර්ශන ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉතා පහසුවෙන්ම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබුණ ද එවක ඒ පිළිබඳ නිසි පියවර ගෙන නොතිබූ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් වූ අතර, ඒවා නිසිලෙස විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ නම්, ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබු බව, විමර්ශනවලින් හෙළි වී ති‍‍බේ.

    බුද්ධි අංශ මුළුමනින්ම අකර්මණ්‍ය කර හමුදාවේ චිත්ත ධෛර්යය නැති කොට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කිරීම නිසා ඝාතකයින්ට මෙම ප්‍රහාරය සිදු කිරීමට හැකි වූ බව ද අනාවරණය වී ති‍බේ.

    වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පාස්කු ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ 99ක් මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශයන්හි රැඳී සිටි මෙරට පුද්ගලයින් 35ක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කෙරිණ.

    විදේශ බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවාව විසින් විදේශ රටවල් 05කින් ප්‍රහාර සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 54කගෙන් 50ක් මෙරටට ගෙන්වා තිබේ. අනෙක් සිව්දෙනා එම රටවල නඩු කටයුතු අවසන් වූ වහාම ගෙන්වා ගැනීමට නියමිතයි. ‍‍‍

    මෙම පුද්ගලයින් එම රටවල සිට අන්තවාදය පෝෂණය කරමින් අන්තවාදී ප්‍රචාරණ සඳහා ශ්‍රී ලංකාවට මුදල් එවා ඇති බව හෙළි වී ඇති තවත් කරුණක්. මෙරට තොරතුරු හා විමර්ශන අනුව ඔවුන්ගේ ප්‍රහාරයට ඇති සම්බන්ධතාව වර්ගීකරණය කර නඩු පැවරීමට නියමිතයි. ඉදිරියේදී මෙවැනි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රියාකාරකම් අධීක්‍ෂණය සඳහා රාජය බුද්ධි සේවාව එම රටවල අදාළ බුද්ධි සේවා සමඟ සම්බන්ධ වීමට නිසි ක්‍රමවේදයක් සකස් කර තිබේ.

    සහරාන් යටතේ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා දී ඇති කාන්තාවන් සංඛ්‍යාව 17ක්. ඉන් පස් දෙනෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකුට චෝදනා ගොනු කොට රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    තවත් 7ක් අත්අඩංගුවේ තබා ගනිමින් විමර්ශන ක්‍රියාත්මකයි. අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ. මෙරට සමාගමක් 2015 වසරේදී චීනයෙන් කඩු 1,440ක් ආනයනය කර තිබේ. 2018 දී දෙමටගොඩ ඊබ්‍රහිම් සහෝදරයන්ගේ මෙහෙවීම මත එම සමාගමෙන් විවිධ වෙළෙඳ සැල් වෙත විකුණා ඉතිරිවූ කඩු 300ක් මිලදී ගෙන ඇති බවට හෙළි වී ඇත.

    එම කඩු කොම්පඤ්ඤවීදිය, කාන්තන්කුඩි සහ බේරුවල යන ප්‍රදේශවල පුද්ගලයින්ට ලබාදී ඇති බවට ද අනාවරණය වී තිබේ. මීගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවල කම්හල්වලින් කඩු 27ක් සකස් කර ඇති අතර ඒ පිළිබඳ සිදු කළ විමර්ශනයෙන් පසු ඊට සම්බන්ධ 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන දැනට 7කට එරෙහිව නඩු පවරා තිබේ.

    ප්‍රහාරයට අවශ්‍ය සියලුම මුදල් හා ‍භෞතික සම්පත් දුල්හාමි ඉන්ෂාෆ් සහෝදරයින් තම ව්‍යාපාරවලින් ද, විදේශයන්හි අන්තවාදී සංවිධාන හා මැද පෙරදිග අයිඑස් ලැදි කණ්ඩායම් මගින් ලබාදී ඇති බවට ද අනාවරණය වී තිබේ. අත්අඩංගුවේ සිටි පුද්ගලයින් සහ ස්වයං ඝාතකයින් දුරකතන සබඳතා පවත්වා ඇත්තේ වයිබර්, වට්ස්ඇප් ආදි මෘදුකාංග ඔස්සේයි.

    Latest News