හෙරොයින් කි. ග්‍රෑම් 75කට ආසන්න තොගයක් සමඟ යුවලක් අත්අඩංගුවට

මාර් 10, 2021

    මාතර දෙයියන්දර ප්‍රදේශයේදී මෝටර් රථයකින් ප්‍රවාහනය කෙරෙමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 75කට ආසන්න තොගයක් සමඟ යුවලක් අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්විය.

    මෙම හෙරොයින් තොගය වැලිගම ප්‍රදේශයේ සිට විදේශගත වී ඇති රුවන් නදුන් චින්තක නොහොත් "හරක් කටා" නමැත්තා විසින් මෙරටට එවන ලද ඒවා බව දැනට සිදු කෙරුණු විමර්ශනවලින් හෙළි වී ඇත.

    කටුනායක අන්තර් හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට අද අලුයම ඇතුළු කර ඇති මෙම මෝටර් රථය බෙලිඅත්ත අන්තර් හුවමාරුවෙන් පිටවී හක්මන ඔස්සේ ධාවනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ‍පොලිසියට ලැබුණු තොරතුරකට අනුව දෙයියන්දර, මුලටියන මාර්ගයේදී මෝටර් රථය පරීක්‍ෂා කළ අවස්ථාවේ එහි තිබී හෙරොයින් තොගයක් හමුවූ අතර සැකකරු‍ගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් ස්ථානයක සඟවා තිබූ හෙරොයින් ඇසුරුම් කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පාර්සල් 68ක හෙරොයින් අසුරා තිබිණ. ඒවායෙහි මුළු බර කිලෝ ග්‍රෑම් 74යි ග්‍රෑම් 975ක්. අත්අඩංගුවට ගනු ලැබූ 29 හැවිරිදි පිරිමි පුද්ගලයා මීගමුව කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 38 හැවිරිදි කාන්තාව මහනුවර සුදුහුම්පොළ පදිංචි තැනැත්තියක්.

    පසුගිය නොවැම්බර් සහ පෙබරවාරි යන මාසවලදී පැලිගම හා හොරණ ප්‍ර දේශවලින් සොයා ගැණුනු හෙරොයින් කිලෝ ග්‍රෑම් 155ක අධික තොග මෙරටට එවා ඇත්තේ ද හරක් කටා නමැති ජාවාරම්කරු විසින් බව පොලිසිය පවසයි.

    සැකකාර යුවල දින 7ක් රඳවා ගෙන විමර්ශන කිරීමට දෙයියන්දර මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

    Latest News