ශ්‍රී ලංකාවේ සාධනීය වෙනස්කම් කිසිවක් සැලකිල්ලට නොගෙන ජිනීවා අවසන් කෙටුම්පත සැකසේ.

මාර් 14, 2021

    ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් නව යෝජනාවේ අවසන් කෙටුම්පත එළිදක්වා තිබේ.

    මෑත කාලීනව මෙරට සිදුවූ සාධනීය වෙනස්කම් කිසිවක් සැලකිල්ලට නොගෙන අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට එරෙහි මූලික රටවල් කණ්ඩායම උත්සුකවීම විශේෂයෙන් අවධානයට ලක්වේ.

    යෝජනාව සකසා ඇත්තේ මූලික කණ්ඩායමට අයත් බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මලාවි සහ මොන්ටිනීගෝ යන රටවල් ඒකාබද්ධවයි. ඔවුන් සැලසූ යෝජනාවේ අවසන් කෙටුම්පත ඉකුත් සිකුරාදා මානව හිමිකම් කවුන්සිල වෙබ් අඩවියට ඇතුලත් කර තිබිණ.

    46 වන මානව හිමිකම් සැසිවාරයේ අවසන් දින දෙක තුළදී මේ යෝජනාව සාමාජික රටවල ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරෙනු ඇතැයි, විශ්වාස කෙරේ. අවසන් කෙටුම්පත මගින් දක්වා ඇති කරුණු අනුව පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිරිහීම රජයේ සිවිල් කටයුතු හමුදාකරණය, අධිකරණයේ ස්වාධීනත්වය පිරිහීම, යුද සමයේ සිදුවූ බව කියන අපරාධ සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලිය අනුගමනය නොකිරීම වැනි බරපතල චෝදනා ශ්‍රී ලංකාවට එරෙහිව නගා තිබේ.

    ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා මේ යෝජනාව ඉදිරිපත් කරන බව, මුලික රටවල් කණ්ඩායම ප්‍රකාශ කළ ද එහි දැක්වෙන කරුණු බහුතරයක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය දේශපාලන මැදිහත්වීමක් ලෙස සැලකිය හැකි බව විද්වතුන් පෙන්වා දෙයි.

    Latest News