දකුණ ආසියාවේ විශාලතම තරුණ ‍ස්වේච්ජා වැඩසටහන ඇරඹේ

මාර් 28, 2021

    දකුණ ආසියාවේ විශාලතම තරුණ ‍ස්වේච්ජා වැඩසටහන ඊයේ ආරම්භ කෙරිණ.

    එය නම් කරනු ලැබ ඇත්තේ, "වොලන්ටියර් එස්.එල්. ඩේ" ලෙසයි. කතරගම පූජා භූමිය පවිත්‍ර කරමින් එහි සමාරම්භය සිදුවූයේ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ද සහභාගිත්වයෙන්. මෙය සිදු කෙරු‍ණේ, 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීවයි. යෞවන සමාජ, යොවුන් සේනාංක සහ වෙනත් තරුණ සංවිධානවල සාමාජිකයන් මීට එක්වූහ. මෙරට පළමු වරට ශ්‍රමදාන සංකල්පය මත පිහිටමින්, ස්වේච්ජාවෙන් වැඩකරන පිරිස ඒකරාශී කර ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    දිවයින පුරා සෑම මසකම අවසන් සෙනසුරාදා පැවැත්වෙන මෙම වැඩසටහන මගින්, සමාජයේ දියුණුව සැලසෙන අතර, මානව සම්පත ගොඩනැගීමෙන් ක්‍රියාශීලි සමාජයක් මෙන්ම ක්‍රියාශීලි පුරවැසියන් බිහිකිරීමට හැකිවන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

    වැඩසටහනට වසරක් සපිරෙන දිනට ස්වේච්ජාවෙන් වැඩ කටයුතු කළ අය ඇගයීමට ද සැලසුම් කර තිබේ. ඒ සඳහා අන්තර් ජාතික ස්වේච්ජා වැඩසටහනක් සංවිධාන කර සම්මාන ප්‍රදානේත්සවයක් ද පැවැත්වීමට කටයුතු කරන බව, අමාත්‍යවරයා සඳහන් කළේය. එය ලබන අප්‍රේල් හෝ මැයි මස දකුණු ආසියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

    Latest News