කූරගල නව චෛත්‍යය ඉඳිකිරීමට පියවර

මාර් 28, 2021

    "අස දිසි ශාඛ්‍ය සුගත මහ සෑය" කූරගල පුදබිමේ ස්ථාපනය කෙරේ. නව චෛත්‍යයට මුල්ගල තැබීම අද සිදු කෙරිණ.

    මෙය පුරා විද්‍යා භූමිය ආරක්‍ෂා වන පරිදි ඉදි කිරීමට පියවර ගෙන තිබේ. කූරගල පුදබිම පිහිටා ඇත්තේ, සබරගමුව පළාතේ බලංගොඩ ප්‍රදේශය ආශ්‍රිතවයි. එය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් සෙල්ලිපි හා කටාරම්වලින් යුත් ස්ථානයක්. මෙහි මහරහතන් වහන්සේ වැඩසිටි බවට ද විශ්වාස කෙරේ. අක්කර 54ක භූමි ප්‍රදේශයක පැතිර පවතින කූරගල පුදබිමෙන් මානව ජනාවාස පිළිබඳ තොරතුරු රැසක් හමුවී තිබේ.

    පසුකාලීනව විවිධ පිරිස් විසින් පුදබිමේ ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම්වලට හානි සිදුකර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, ආරක්‍ෂක ලේකම්ව සිටි සමයේ කූරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත්කර එය සංරක්‍ෂණය කිරීමට ක්‍රියා කළේය.

    ඒ අනුව, එම පුරා විද්‍යාත්මක ස්ථාන අද දක්වා ආරක්‍ෂා කර ගැනීමට හැකිවිය. කූරගල පුදබිමේ අද ඉදිකිරීම් ආරම්භ කෙරුණු චෛත්‍යය අඩි 100ක උසකින් යුක්තයි. නෙල්ලිගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකිරීම් ක්‍රියාත්මකයි.

    Latest News