කායික හා මානසික ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගනවා - අමාත්‍ය නාමල්

මාර් 28, 2021

    කායික හා මානසික වශයෙන් ශක්තිමත්, තම වගකීම හඳුනාගත් ජන සමාජයක් රට තුළ ගොඩනැගීම සිය අමාත්‍යාංශයේ අරමුණ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද (28) දින පෙරවරුවේ පැවසීය.

    ඵෙතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවති "යොවුන් ශීල සමාධි" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. එහි දී සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ අටවිසි බෝධීන් වහන්සේලා රෝපණයට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 'වන අරණ ව්‍යාපෘතිය" ඔස්සේ ප්‍රදේශයේ ජනතාවට පැළ බෙදා දුන්නේය.

    රටේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත ගොඩනඟා සමාජයට, රටට ආදරය කරන යහපත් ගතිපැවතුම් වලින් හෙබි අනාගතවාදීව සිතන තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව "යොවුන් ශීල සමාධි" වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

    වර්තමාන සමාජය කොවිඩ් -19 වසංගතයත් සමඟ දැවැන්ත මානසික පීඩනයකින් කටයුතු කරන බව පෙනී යන බව කී අමාත්‍යවරයා කොවිඩ් - 19 වසංගයෙන් පැමිණි අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන අතරම ජනතාව තුළ එමගින් ඇතිවූ මානසික පීඩනය අවම කර ක්‍රියාශීලි සමාජයක් සහ කායික මානසික වශයෙන් ශක්තිමත් මෙන්ම තම වගකීම හදුනාගත් ජන සමාජයක් ගොඩනැගීම සිය අමාත්‍යාංශයේ අරමුණ බව ප්‍රකාශ කළේය.

    ඒ සඳහා සෑම පොහෝ දිනයකම ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්කයක සෑම ගමකම තරුණ තරුණියන් යොවුන් ශීල සමාධි වැඩසටහන හා සම්බන්ධ කරමින් සිල්සමාදන් කරවීමෙන් නිරවුල් ශක්තිමත් කායික මනසකින් යුතු ඔවුන් සතු සාම්ප්‍රදායික යහ පුරුදු ඉදිරියට රැගෙන ගොස් රට ගොඩනැඟීමට එය ඉවහල් කරගන්නවා යැයි අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.

    Latest News