අභිමානවත් 71 වැනි ජාතික නිදහස් දිනය අද

පෙබ 04, 2019

    අභිමානවත් 71 වැනි ජාතික නිදහස් දිනය අදයි.

    උත්සවය කොළඹ ගාලූ මුවදොර පිටියේ දී අද (04) පෙරවරුවේ අභිමානවත්ව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. උත්සවය ආරම්භ වන්නේ ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

    මෙවර ජාතික දින සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස මාලදිවයින් ජනාධිපති ඊබ‍්‍රහිම් මොහොමඞ් සොලීහ් සහභාගී වනු ඇති. රට ජාතිය වෙනුවේන දිවි පිදූ විරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වේ. ජාතික දින සමරු උත්සවය ජනාධිපතිවරයා විසින් පෙරවරු 9.13ට අමතනු ලබයි.

    උළෙලේ ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5848ක් යොදවා තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව නියේජනය කරමින් නිලධාරීන් 3872ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 932 දෙනෙකු ද, නාවික හමුදාව නියෝජනය කරමින් හමුදා නිලධාරීන් 1044 දෙනෙකු ද ආචාර පෙළපාලියට එක්වන බවයි, හමුදා මාධ්‍ය ප්‍රකාශය කාර්යාලය සඳහන් කරන්නේ. මීට අමතරව පොලිසීය නියෝජනය කරමින් විශේෂ කාර්ය බලකා ඇතුළු පොලිස් නිලධාරීන් 920ක් එක්වීමට නියමිතයි.

    Latest News