ක්‍රීඩා ශාලා හා කායවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචියට බලපත්‍ර නිකුත් කිරීම අත්‍යවශ්‍යයි; අමාත්‍ය නාමල්

අප්‍රේ 21, 2021

    ක්‍රීඩා ශාලා හා කායවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචියට හා ක්‍රියාත්මක කිරීමට බලපත්‍ර නිකුත් කිරීම අත්‍යවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

    මෙතෙක් එම මධ්‍යස්ථාන ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයෙන් කිසිදු ප්‍රමිතියක් හෝ මාර්ගෝපදේශයක් හෝ ප්‍රකාශයට පත්කර නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්තිය යටතේ නිරෝගිමත් තරුණ පරපුරක් බිහිකිරීම මූලික අරමුණක් වන හෙයින් මෙය, නව කර්මාන්තයක් ලෙසින් හඳුනාගත හැකි වන බව ඔහු ප්‍රකාශ කළේය.

    තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා සැලසීමට ද මෙමගින් අවස්ථාවක් උදාකර ගත හැකි බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒ අනුව, ක්‍රීඩා පනත හා අදාළ රෙගුලාසි පිළිබඳව සලකා බලා ක්‍රීඩා ශාලා හා කායවර්ධන මධ්‍යස්ථාන සඳහා යෝග්‍ය උපදෙස් මාලාවක් කඩිනමින් සකස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    සේවාදායකයින්ට අවම පහසුකම් යටතේ විධිමත් සේවාවක් සැපයීම, ප්‍රමාණය හා දෙන ලද කාලසීමාවක් තුළ එය භාවිත කළ හැකි උපරිම පිරිස පදනම් කර ගනිමින් ක්‍රීඩා ශාලා සහ කායවර්ධන මධ්‍යස්ථාන කාණ්ඩ කිරීම, ගෘහස්ත ක්‍රීඩා ශාලා හා කායවර්ධන මධ්‍යස්ථාන සහ එළිමහන් ක්‍රීඩා ශාලා පිළිබඳව වෙන් වෙන් වශයෙන් සලකා බැලීම ද ඒ යටතේ සිදු කෙරුනු ඇත.

    තනිව තමා විසින්ම පුහුණුවීම් කළ හැකි හා පුහුණුකරුවන්ගේ සහය ලබාදෙන අන්දමේ මධ්‍යස්ථාන පිළිබඳව ද, වෙන්-වෙන් වශයෙන් සලකා බැලීම යන කරුණු නියාමනය කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව යමින් එම කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරයා අදාළ පාර්ශවවලින් ඉල්ලීමක් කළේය.

    Latest News