වරාය නගරයේ කෘතිම වෙරළ තීරය, සැහැල්ලු යාත්‍රාංගන උද්‍යානය මේ වසර අවසානයට පෙර ජනතාවට....

අප්‍රේ 23, 2021

    කොළඹ වරාය නගරයේ ඉදි කෙරුණු කෘතිම වෙරළ තීරය සැහැල්ලු යාත්‍රාංගන උද්‍යානය ඇතුළු අංග කිහිපයක් මේ වසර අවසානයට පෙර ජනතාව වෙනුවෙන් විවෘත කරන බව, එම ව්‍යාපෘතිය පවසයි.

    මෙය කොළඹ නගරයේම දිගුවක් ලෙස ගාලු මුවදොර ක්‍රීඩාංගනය හා යාවන සේ ඉදිවී ඇති බව වරාය නගර ව්‍යාපෘතිය පෙන්වා දෙයි. කොළඹ වරාය නගරයේ ගාලු මුවදොර ක්‍රීඩාංගනය දෙසට මුහුණලා ඉදිවෙමින් පවතින සැහැල්ලු යාත්‍රාංගන පරිශ්‍රයට අයත් උද්‍යානයේ වැඩ බොහෝ දුරට නිමවී තිබේ.

    එක් අතකින් ජල තීරයට මායිම්වන මේ උද්‍යානය වරාය නගරයට එක්කර ඇත්තේ, අලංකාරයක්. එම උද්‍යාන ප්‍රදේශයේ බටහිර දෙසින් ඉදිවන සුවිශේෂ ආකෘතියකින් යුතු පදිකයින් සඳහාම වෙන්වූ පාලමේ වැඩ ද නිම වෙමින් පවතී. එය පිහිටා ඇත්තේ හෙක්ටයාර් 269ක් පුරා විහිදී ඇති ගොඩකරන ලද භූමිය හරහා ඉදිවන ජල තීරයේ ආරම්භක ස්ථානයේයි.

    එම ජල තීරය වරාය නගරයේ අනෙක් අන්තය දක්වා විහිදේ. ගොඩකරනු ලැබූ භූමියේ මධ්‍යම ප්‍ර දේශයේ තණ නිල්ලකින් හා ශාඛ වර්ග රැසකින් ආවරණය වූ අලංකාර උද්‍යානයක් ද දැකගත හැක. එහි ඇති වැඩුණු සෑම ගසක්ම වෙනත් ප්‍රදේශවලින් රැගෙනවිත් විශේෂ රෝපණ ක්‍රමවේදයකට අනුව සිටුවා තිබීම විශේෂත්වයක්.

    නගර පරිශ්‍රය වටා හොඳින් වැඩුණු පොලිගස් සිටුවීම සිදුවන්නේ ද එම ක්‍රමවේදයට අනුවයි. මේ වනවිට එලෙස රෝපණය කළ පොල්ගස් ඇතුළු විවිධ ගස් වර්ග සිය ගණනක් වරාය නගර පරිශ්‍ර යේ දැකගත හැක. ව්‍යාපෘති සමාගම පවසන්නේ විවිධ වර්ගවල ගස් 6000ක් පමණ නගර පරිශ්‍රයේ රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි. 

    කිලෝ මීටර 3.2ක් දිගැති දිය කඩනයකින් වරාය නගරය ආවරණය වී තිබේ. ඒ නිසාම කිලෝ මීටර එක හමාරක්පමණ දුරකට විහිදී යන පුලුල් කෘතිම වෙරළ තීරයක් දැන් නිර්මාණය වී ඇත. වේගවත් රළ නොපැමිණිම නිසා පවතින නිස්කලංකභාවය මෙහි එන ජනතාවට වෙරළ ක්‍රීඩා, ස්නානයක හා සැණකෙලි පැවැත්වීම හා හිතකර පරිසරයක් නිර්මාණය කර තිබේ.

    මේ වෙරළ තීරයේ විවිධ ක්‍රියාකාරකම් සංවිධාන කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයතන කිහිපයක් මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව වරාය නගර ව්‍යාපෘතිය පවසයි.

    Latest News